පළමු ටෙස්ට් තරගයේ දී ඉනිමකුත් ලකුණු 280ක දැවැන්ත පරාජයක අමිහිරි අත්දැකීම් සහිත ආධුනික අයර්ලන්ත කණ්ඩායම විශිෂ්ඨ සටන්කාමී ක්‍රීඩා විලාශයකය. දින තුනකින් ඉවරවෙන තවත් තරගයක් ගැන කල්පනා කළ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ගර්වාන්විත උත්තරයක් ලබා දී තිබෛ්. පළමු දිනයේ පූර්ණ ගෞරව අයර්ලන්තයටය. අයර්ලන්තය දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ලකුණු 319ක් ලබාගෙනය. ඒ කඩුළු 04ක් පමණක් දැවීගොස්ය.
ඒ ක්‍රීඩා විලාශය දකින විට අයර්ලන්තයෙන් ශතක වැස්සක් වසිනු ඇතැයි නරඹන අපට සිතුනේය. ගාල්ල ක්‍රීඩාංගනයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීමට කාසියේ වාසිය දිනාගන්න ඇත්තන් ජයග්‍රහණයට මොනතරම් සමීප දැයි සිතුනේය. පන්දු දෝලනය වන්නේ නැති තණ තිල්ලකි. දඟපන්දු යවන්නට පන්දුව දඟ කවන්නට බැරි තණ තිල්ලකි. කැකෙන්න පටන් ගන්නේ දෙවැනි දිනයට පසුය.
ආරම්භක පිතිකරුවන් ඉක්මනින් ක්‍රීඩාගාරයට ගිය බව සැබෑය. නමුත් නායක ඇන්ඩි බල්බ්‍රිනි සහ පෝල් ස්ටාලින් 4වන කඩුල්ල වෙනුවෙන් මනරම් ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූහ. හතරේ පහර 14ක් සහිතව පන්දු 163ක දී ඇන්ඩි විශිෂ්ට ලකුණු 95ක් රැස් කළේය. ශතකය ඔහුට මග හැරුනේ අවාසනාවන්ත ලෙසය. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට ලකුණු 95 දී ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගියේය
ඔහු සමග කදිම පිතිකරණයක නිරත වී සිටි පෝල් ස්ටාර්ලින්ට ගාල්ල ගිනියම් කර අප්‍රේල් දාහය දරා ගත නොහැකි වී තිබිණි. දිගින් දිගටම සිදුවූ මස්පිඩු පෙරළීමත් සමග ඔහු තාවකාලිකව ඉනිම අත්හැර සගයින් දෙපළකගේ කර මතින් ක්‍රීඩා ගාරයට ගියේය. ඒ වනවිට ඔහු පන්දු 133ක් තුළ හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් සමග ලකුණු 74ක් ලබාගෙන සිටියේය.
අයර්ලන්ත ඉනිමේ පදනම දැමූ ඇන්ඩි බල්බ්‍රිනි සහ පොල් ස්ටාර්ලින් අතර සිවුවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුනු සබඳතාවය ලකුණු 115ක් විය.
මැද පෙළ තවත් මනරම් සම්බන්ධයක් ගොඩනැගෙන්නේ ලෝකන් ටකර් සහ ක්‍රිස් කැම්පර් අතරය. ටකර් පන්දු 102ක් තුළ හතරේ පහර 10ක් සමග වේගවත් ලකුණු 78ක් ලැබුවේය. ඔහු නොදැවී ක්‍රීඩා කරමින් ශතකය කරා යන ගමනකය. ක්‍රිස් කැම්පර් පන්දු 64ක් තුළ ලකුණු 27ක් ලබාගෙන එක් අන්තයක ක්‍රීඩා කරමින් සිටින්නේ විශ්වාසයෙන් යුතුවය. මේ යුගලය එක්ව නොදැවී ලකුණු 87ක සම්බන්ධතාවයක් ගොඩනගා ඇත
පළමු දිනයේ දඟ පන්දු යවන්නන්ගේ පන්දු දඟනොකැවුන ගානය. වේග පන්දුවේද දෝලනයක් නැත. පිතිකරණයට තණතිල්ල ගොඩනැගුවා සේය. දවාගත් කඩුළු 04න් 02ක් ප්‍රභාත් ජයසූරියගේය. පන්දු ඕවර 32ක් යවා ඔහු ලකුණු 95කට එම කඩුළු 02ක බිඳ දමා ඇත. පන්දු ඕවර 19ක් යවා ලකුණු 84ක් ලබා දී රමේෂ් මෙන්ඩිස් එක කඩුල්ලක් දවාගෙන තිබේ. පන්දු ඕවර 13ක් යැවූ අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුල්ලක් ලබාගෙන ඇත.
හෙට තරගයේ දෙවැනි දිනය ය.