- මහින්ද ගෝඨාභය ක්රිකට් නිලවරණයට ඉල්ලුවත් මේ සෙට් එකත් එක්ක දිනන්න බෑ
- මහේල සංගා ගෙනා ඒජන්තයාට මේ රටේ ක්රීඩකයන් කොමිස් ගෙවනවා
මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභාය රාජපක්ෂ ශ්රි ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණයකට පැමිණියත් දිනිය නොහැකි තරමට ක්රිකට් ආයතනය සම්බන්ධ ක්රියාවලීන් අන්ත දූෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ක්රීඩකයන් උපයන මුදල්වලින් විනෝද වන ආකාරයේ කාලකණ්නි කණ්ඩායමක් එම ආයතනයේ සිටින බවටත් හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග චෝදනා කරයි.
‘truth with චමුදිත’ යූටියුබ් නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා පවසන්නේ ශ්රී ලංකාවේ ක්රිකට්වල ඇති වී තිබෙන දැවැන්ත කඩාවැටීම ඇරඹුණේ 2015 තම ආණ්ඩු සමයේ සිට ආ වැරදි ක්රමවේදය නිසා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන රණතුංග මහතා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ගේ ඒජන්තයා ලෙසින් කටයුතු කරන චාලි වොට්සන් නමැත්තා මේ වනවිට මෙරට ක්රිකට් ක්රීඩකයන් දස දෙනකුගේ පමණ ඒජන්තයා වී සිටින බවත් ඔවුන් උපයන මුදලින් සියයට 10ක් මෙම පුද්ගලයාට ලබා දිය යුතුව පවතින බවය. මෙම පුද්ගලයන් ක්රීඩකයන් මෙහෙයවන බවත් මේ පිළිබඳව කිසිවකු නිසි ලෙස සොයා නොබලන බවටත් අර්ජුන රණතුංග මෙම සාකච්ඡාවේදි චෝදනා කළේය.
එහිදී තවදුරටත් අදහස් දක්වන අර්ජුන රණතුංග,
“මට මතක ඇති කාලෙක ලංකාවේ ක්රිකට් මේ තරම් කඩා වැටීමට ලක් වුණේ නැහැ. දැක්මක් නැති පරිපාලනයක් එක්ක වෙච්ච දේවල් නිසා අද ක්රිකට් දුක් විඳිනවා. 2015 ඉඳලම හිටපු ක්රිකට් පරිපාලනය මේ කඩා වැටීමට වගකිව යුතුයි. යහපාලන ආණ්ඩුව හදපු දවසේ ඉදලා අපි හදපු ආණ්ඩු වෙලා මම අදාල මිනිස්සුන්ට මේක කිවුව. සමහර අය ඇහුව සමහර අය ඇහුවේ නෑ.
ක්රිකට් නරකම පැත්තට ගියේ 2015 සිට. ඒකට සමහර ජේෂ්ඨ ක්රීඩකයොත් වගකියන්න ඕන. මම ක්රිකට්වලට එද්දී බන්දුල මඩුගල්ල රෝයි ඒ අය හිටියේ ඒ අය මාව හැදුවා. අපි ඉන්නකොට සනත්ලා මාවන්ලා මුරලිලාව හැදුවා. ඊට පස්සේ ඒ අය මහේලලා සංගක්කාරලව හැදුවා. හැබැයි එතනින් පස්සේ එක ක්රීඩකයෝ යුවලක් අපට හිටියේ නෑ. තිරිමාන්නලා චන්දිමාල්ලා දිනුක් කරුණාරත්නලා. ඒ අයව අපි හැදුවේ නෑ. මම මහේල සංගාට ඒ වගකීම භාර දෙන්නේ නෑ. නමුත් ඒ දවස්වල හිටපු තේරීම් කමිටු ඔය වගකීම භාරගත යුතුයි.
මහේල සංගා දක්ෂ අය. ඒ අය අද ක්රිකට් ගොඩ ගැනීම ගැන කතා කරනවා. ඒත් අපි ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ කතා කතා කිරීම නෙමෙයි ක්රියාත්මක කිරීම. නමුත් කවුද මේ ඉන්න ක්රිකට් බෝඩ් එකත් එක්ක ක්රිකට් ගොඩ ගන්න යන්නේ. මට කිව්වොත් එන්න කියලා මම යන්නෙත් නෑ. මේ ඉන්න කට්ටියත් එක්ක කව්ද මේක බාරගන්නේ කියන එකත් ප්රශ්නයක්. සුමතිපාල මහත්තයාගේ කාලේ ඉඳලම තිබ්බ කඩාවැටීම තමයි මේ යන්නේ. ක්රිකට් පරිපාලනයේ ඉන්න උප සභාපති හෝ ලේකම් වන රවීන් වික්රමරත්න තරග පාවාදීමක ඉන්න කෙනෙක්. අද වෙනකම් දඬුවමක් නෑ. මම නාමල් රාජපක්ෂ ඇමතිතුමාටත් කිව්වා. එතුමා කිව්වා එංගලන්ත සංචාරය ඉවර වෙනකම් පොඩ්ඩක් ඉන්න කියලා. අපි ඉන්නවා. හිතන්නේ මේ අන්තිම අවස්ථාව තීරණයක් ගන්න. මොකද අපි දැක්කා ක්රීඩා ඇමැතිවරයා ගිහින් වැඩ කරන්න හදනවා එකතැනකින් බලපෑම් එනවා.
අද ශ්රි ලංකා ක්රිකට් ආයතනයේ 150ක් වැඩ කරනවා. තරග බලන්න මේ අය ප්ලේන් එකෙන් හම්බන්තොට එක්කන් යනවා. ඒත් ගමේ සමහර ක්රීඩකයන්ට ක්රිකට් පුරුදුවෙන්න හරියට මැටින් එකක්වත් නෑ. ක්රීඩකයන්ගෙන් හම්බවෙන්න මුදලින් විනෝද වෙන ඉතාමත් කාලකන්නි කණ්ඩායමක් ක්රිකට් ආයතනයේ ඉන්නේ. . ක්රිකට් වැටිල තියෙන්නෙ දැන් වැටෙන්න දෙයක් නෑ. ක්රීඩකයෝ මුදල් ගේනවා. අයිසීසී එකෙන් අපිට ගෙවනව. ඒවයින් තමයි මෙයාලා ජෝගි නටන්නෙ. ඔයා ඉන්න එක්කෙනෙක්වත් රටට ගහන අය ඉන්නවද අපි යන්නේ ජනප්රිය වෙන්න නෙවෙයි එතනට අපි ජනප්රිය වෙලා යන්නේ. ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මිගේ තාත්තා බුකිකාරයෙක්. දැන් මේ ඉන්න ළමයි දක්ෂ අය . අපි ගමු කුසල් මෙන්ඩිස් ඒ ළමයා දක්ෂයි. නමුත් ඔලුව හදන්න ඕනේ. ගෝඨාභය, මහින්ද ආවත් ක්රිකට් ඡන්දයකින් දිනන්න බෑ මේ සෙට් එකත් එක්ක”