පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්ගේ නිවසේ සිටියදී පිලිස්සී මියගිය මෙහෙකාර දැරියගේ දේහය අනිද්දා (30) භූමදාන කටයුතු සිදු කළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියට ගොස් ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
නීතිපතිවරයාගේ නිර්දේශය පරිදි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම අනුව දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් නම් කර තිබේ.
මෙම කණ්ඩායමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන අය පත් කර තිබේ.
ඩයගම ප්‍රදේශයේ වළදමා ඇති දේහය එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් ගොඩගැනීම සිදුකරනු ලබන්නේ මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේ ය.
ඊට අමතරව අදාළ ක්ෂේත්රයේ විශේෂඥයන් රැසක් මෙම සිරුර ගොඩගැනීම සඳහා ලබන තිස් වෙනිදා සහභාගිවීමට නියමිතව තිබේ.
විශේෂයෙන්ම මෙහිදී දැරිය මියගිය ආකාරය, ඇය දූෂණයකට ලක්ව ඇත්ද? එසේ නම් එම කාල පරිච්ඡේදය කුමක්ද? මෙම දැරියට කෲර වදහිංසා හෝ වෙනත් කරුණු සිදු කර ඇද්ද යන සියලු කරුණු සම්බන්ධයෙන් අදාළ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය මගින් වාර්තා ලබාගැනීමට නියමිත ය.