ආසියානු කුසලාන තරගාවලියේ 07 වැනි තරගය ලෙස අද ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවැත්වුන සුපිරි වටයේ මුල්ම තරගයේ දී බංගලාදේශය පරදවා කඩුළු 07ක සුපිරි ජයග්‍රහණයක් අත් කරගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත් වූයේය.
කාසියේ වාසිය දිනුවේ බංගලාදේශ කණ්ඩායමය. එහෙත් එම තීන්දුව මුලුමනින්ම වැරදී ගියේය. බංගලාදේශ කණ්ඩායම පන්දු ඕවර 38.4ක දී ලකුණු 193කට සියල්ලෝ දැවී ගියහ.

නායක ශකීබ් අල් හසන් පන්දු 57ක දී ලකුණු 53ක්, කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් පන්දු 87ක දී ලකුණු 64ක් රැස් කළේය. අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 20ක සීමාව ඉක්මවා ගියේ නැත. ක්‍රීඩකයින් 05 දෙනෙක් සිටියේ ලකුණු 05කට පහලිනි.
පන්දු යැවීමේ දී බංගලාදේශ ඉනිම බිඳහෙළුවේ පන්දු ඕවර 06ක් යවා ලකුණු 19කට කඩුළු 04ක් බිඳ හෙලූ හරිස් රවුෆ්ය. නසීම් ෂා පන්දු ඕවර 5.4ක දී ලකුණු 34කට කඩුළු 3ක් බිඳ හෙලුවේය. ෂහීන් ෂා ඇෆ්රිඩි, ෆයීම් අෂ්රාෆ්, ඉෆ්ටිකාර් අහමඩ් කඩුල්ල බැගින් බිඳහෙලූහ.
පකිස්ථානයට තිබුණේ ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කයකි. එම ඉලක්කය කඩුළු 03ක් දැවී ඉතාම පහසුවෙන් ඉක්මවා යෑමට පකිස්ථානු පිතිකරුවෝ සමත් වූහ. ඒ පන්දු ඕවර 39.3ක දී ය.
ඉමාම් උල් හක් පන්දු 84ක දී ලකුණු 78ක්, මොහොමඩ් රිස්වාන් පන්දු 79ක දී නොදැවී ලකුණු 63ක් රැස් කළහ. ෆකාර් සමාන් ලකුණු 20ක් බාබර් අසාම් ලකුණු 17ක් රැස් කළේය.
බංගලි ඉනිම සුන් කළ වේග පන්දු යනන්නා හරිස් රවුෆ් තරගයේ වීරයා වූයේය.