යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ක්‍රීඩා විලාසයකය. එක් තරගයක් කුජීත ලෙස පැරදී ඊලඟ තරගය විශ්මිත ලෙස ජයග්‍රහණය කරමින් කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණඩායම ප්‍රදර්ශනය කරන සිග් සැග් රිද්මය ලෝකයේ ක්‍රිකට් ලෝලීන්ට තවමත් ප්‍රෙහේළිකාවකි.
සූරියවැව ක්‍රීඩාංගනයේ අද (04) පැවැත්වූ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක් දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 132ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 323ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 42.1 ක් තුළ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 191ක් පමණි.
කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීන්දු කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කීපයක් කර තිබිණි. දිගින් දිගටම අසාර්ථක වූ ජ්‍යෙෂ්ඨයා ඈන්ජලෝ මැතිව්ස් වෙනුවට සධීර සමරවික්‍රම කැඳවා තිබිණි.
අයිපීඑල් පීඩනය මත කණ්ඩායමට ගෙන්වා අත්හදා බැලූ මතීෂ පතිරණ වෙනුවට දුෂ්මන්ත චමීරත් දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංගත්, අබාධයට ලක් වූ ලහිරු කුමාර වෙනුවට මහීෂ් තීක්ෂණත් කණ්ඩායමට කැඳවා තිබිණි.

ඉතාම සාර්ථක මුහුවක් දක්නට ලැබිණි. දිමුත් සුදු පන්දුව සඳහා යළිත් කදිමට හුරු වූ බව කීවේය. ඔහු පන්දු 62ක් තුළ ලකුණු 52ක් ලැබුවේය. මිනිත්තු 99ක් කඩුල්ලේ රැඳුනේය. හතරේ පහර 07ක් එල්ල කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිහඬ කෙසඟ යෝධයා පැතුම් නිශ්ශංක යළිත් සිය සුපුරුදු වගකීම ඉටු කළේය. ආරම්භක පිතිකරු ලෙස පන්දු 56ක් තුළ ලකුණු 43ක් ලැබුවේය. දිමුත් සහ පැතුම් පළමු කඩුල්ල සඳහා පැවැත්වු සම්බන්ධතාවය ලකුණු 86කි.
දෙවැනි කඩුල්ල සඳහා පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් යළිත් මනරම් ඉනිමක් ක්‍රීඩා කළේය. පන්දු 75ක් තුළ ඔහු ලකුණු 78ක් ලැබුවේ හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමගිනි.

සධීර සමරවික්‍රම පන්දු 46ක් තුළ ලකුණු 44ක් ලැබුවේය. හතරේ පහර 05ක් ඔහුගේ ලකුණු 44ට ඇතුළත් විය. දසුන් ශානක පන්දු 13ක දී ලකුණු 23ක්, වනිඳු හසරංග පන්දු 12ක දී ලකුනු 29ක් ධනංජය ද සිල්වා පන්දු 24ක දී නොදැවී ලකුණු 29ක් ලැබුවේය.
ශ්‍රී ලංකා ඉනිම පන්දු ඕවර 50 අවසන දි කඩුළු 06කට ලකුණු 323කි. ඕනෑම තත්ත්වයක් යටතේ එම ලකුණු ප්‍රමාණය එක් දින තරගයක දී හඹා යෑමට අපහසු ඉලක්කයකි.
එම ඉලක්කය ලබා හඹා යෑමට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ආරම්භයේ සිට දුෂ්මන්ත චමීර එල්ල කළ පීඩනය පහසු වූයේ නැත. ලකුණු 11ක් ලබා සිටිය දී ඇෆගනිස්ථාන ආරම්භක පිතිකරු සහ කඩුළු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් දවා ගැනීමට දුෂ්මන්ත යැවූ පන්දුව සම්බන්ධව ජාත්‍යාන්තර විචාරකයෝ යළි යළිත් කතා කළහ. දුෂ්මන්ත පන්දු ඕවර 07ක් තුළ ලබා දුන්නේ ලකුණු 18ක් පමණි. කඩුළු 02ක් ලැබුවේය.

මනරම් පන්දු යැවීමක නිරතවුන ධනංජය ද සිල්වා පන්දු ඕවර 10 තුළ ලකුණු 39කට කඩුළු 03ක් ලැබුවේය. යළිත් වනිඳු සුපුරුදු රිද්මයට පැමිණ ඇති බව පෙනුණි. ඔයු පන්දු ඕවර 9ක් යවා ලකුණු 42කට කඩුළු 03ක් ලැබුවේය. මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක කඩුල්ල බැගින් ලැබූහ.
දුෂ්මන්ත චමීර ආරම්භයේ දි ඇති කළ පීඩනය පවත්වා ගැනීමට මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංගත්, ධනංජය ද සිල්වාත් දඟ පන්දු යවන්නන් ලෙස කටයුතු කළහ. ඔවුන් ලකුණු ලබා ගැනීමට අවස්ථාව නොදී නිවැරදි එල්ලය වෙත පන්දුව යොමු කරමින් පිතිකරුවන් මත ඇති කල පීඩනය අවසානයේ දී කඩුළු දඩයමට පදනම දැමීය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු 42.1ක් තුළ ලකුණු 191කට සියල්ලෝ දැවී ගියහ. ඇෆ්ගනිස්ථානය වෙනුවන් පසුගිය තරගයේ වේගවත් ලකුණු 98ක් ලැබූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්රාන් ලකුණු 54ක් ලැබුවේය. නමුත් ඊට පන්දු 75ක් වැය විනි. එල්ල කළේ හත්රේ පහර 2ක් සහ හයේ පහර 2ක් පමණි.
නායක හස්මතුල්ලාහ් ෂහීදි පන්දු 62ක දී ලකුණු 57ක් ලැබුවේය. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය. රහ්මට් ෂා ලකුණු 36ක, අස්මතුල්ලාහ් ඕමාර්සායි ලකුණු 28ක් ලැබුවේය.

අවසන් පන්දු ඕවර කළමනාකරණය කරගෙන පන්දු 24ක් තුළ නොදැවී ලකුණු 29ක් ලබා ගනිමින් ලකුණු 39කට කඩුළු 03ක් දවා ගත් ධනංජය ද සිල්වා තරගයේ වීරයා වූයේය. ඔහුට සම දස්මක් දැක්වූ වනිඳු හසරංග පන්දු 12ක දී ලකුණු 29ක් ලැබුවේය. ලකුණු 42කට කඩුළු 03ක් ලැබුවේය. පිටියේ මනරම් පන්දු රැකීමක නිරත වුනේය.
