ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙහි දෙවැනි දිනය අහවරය. අපේ කණ්ඩායම බොහොමත්ම සතුටු හිතෙන තැනකය.
පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී 386ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ සුපිරි ලකුණු 147ක් රැස් කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත් වූයේය. පැතුම් නිශ්ශංක ලකුණු 56ක්, ධනංජය ද සිල්වා ලකුනු 61ක්, දිනේෂ් චන්දිමලා ලකුණු 45ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කළහ.
කොදෙව්වන් වෙනුවන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රොස්ටටන් චෙස් ලකුණු 83කට කඩුලු 05ක් බිඳ හෙළුවේය. ෂැනොන් ගේබ්‍රියල් කඩුළු 02ක් සහ ජොමෙල් වොරිකන් කඩුලු 03ක් ලබා ගත්තේය.
සිය පළමු ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරගය කිසිසේත්ම පහසු එකක් වූයේ නැත. කොදෙව් කණ්ඩායම තරගයේ දෙවන දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කර සිටියේය.
කොදෙව් ආරම්භක පිතිකරු ජෙරොමි සොලොසානෝ ට තරගය අහිමි වූයේ ඊයේ පන්දු රැකීමේ දී සිදු වූ අනතුරෙනි. ඔහු පැය 24ක් වෛද්‍ය නිරීක්ෂණයෙන් පසු දැන් දින හතක් නිරෝධායනයට ලක් කර ඇත. එම දින 07න් පසු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව ඔහු කණ්ඩායමේ ජෛව බුබුලට එක් කරගනු ඇත. ජෙරමිට අහිමි වූයේ ඔහුගේ මංගල ටෙස්ට් තරගයය. අයි.සී.සී. නීති ප්‍රකාරව අනතුරින් කම්පනයට පත් වූ ජෙරමි වෙනුවට ආරම්භක පිතිකරණයට ජෙමයින් බ්ලැක්වුඩ් ආදේශ කළේය. නායක ක්‍රෙග් බ්රෙත්යේට් සමග ඉනිම ආරම්භ කළේ ජෙමයින් බ්ලැක්වුඩ්ය.
බටහිර ඉන්දීය කොදෙව් කඩුළු දඩයම ලසිත් ඇඹුල්දෙණිය ආරම්භ කළේය. ඒ බ්ලැක්වුඩ් ලකුණු 20කට දවාලමිනි. බ්ලැක්වුඩ් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය.
ලකුණු 51ක් වනවිට න්කෘමාහ් බොනර් එක් ලකුණකට දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වූයේය. ස්ලිප්හි පන්දු රැකි ධනංජය ද සිල්වා දක්ෂ උඩපන්දු රැකීමක නිරත විය.
නායක ක්‍රෙග් බ්‍රෙත්වේට් දවාගන්නේ රමේෂ් මෙන්ඩිස්ය. පැතුම් නිශ්ශංක උඩපන්දුවක් රැක ගත්තේය. අනතුරුව කොදෙව් ඉනිම බිඳවැටීම ඇරඹිනි. ෂෙයි හෝප් ලකුණු 10කටත්, රොස්ටන් චෙස් ලකුණු 02කටත් රමේෂ් මෙන්ඩිස්ට ගොදුරු විය. ජොමෙල් වොරිකන් ලකුණු 01කට දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.
පන්දුවට පහර දෙමින් සිටින්නේ කිලී මෙයර්ස් සහ ජේසන් හෝල්ඩර්ය.
යෞවනයෝ ටෙස්ට් ක්‍රිකට් පිටියේත් පෙරළි කරමින් සිටිති.
රමේෂ් මෙන්ඩිස් දෙවන දිනය නිම වනවිට පන්දු වාර 6ක් යවා ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තේය. ඔහුට අගනා සහයක් දුන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 25කට කඩුලු 2ක් ද දවාලූයේය. ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් ලබාගත්තේය. බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 113කට කඩුළු 06ක් බිඳ වැටී අසීරු අඩියකය.