තවත් මනරම් පෙරළියකි. පකිස්ථානය පැරදවූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 08කින් දිනුම්ය.
එය අහම්බයක් නොවේ. විශිෂ්ට ජයග්‍රහණයකි. ඇෆ්ගනිස්ථානය මේ ජයග්‍රහණය ලැබුවේ ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරමින් වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළ කණ්ඩායමය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාස ගත පරාජයකට ඇද දැමූ පකිස්ථානය ය.

මේ බිහිසුණු පරාජය පකිස්ථාන නායක බාබර් අසාම්ට ජීවිත කාලය පුරාම තිගස්වන මතකයක් වනු ඇති බවට විශ්වාසය.
චෙන්නායිහි පැවැත්වූ තරගය ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ ස්ථාවරව ගොඩනැගෙන රිද්මයානුකූල පරිචය සම්බන්ධව ගෞරවණීය කතාවක් කීවේය.
මෙය ඔවුන්ගේ එක්දින තරග ඉතිහාසයේ ඉහළම සාර්ථක හඹායාමය. මින් පෙර හමුවූ අවස්ථා අටේ දී කළ උත්සාහයන් අටේදීම අසමත් වූ ඇෆ්ගනිස්ථානුවන් පාකිස්තානයට එරෙහිව ලද පළමු ජයග්රහණයය..
ලෝක කුසලාන තරගාවලියක ලද තුන් වැනි ජයග්‍රහණය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වාර්තා කරන්නේ තරගාවලියේ රිද්මය උඩු යටිකුරු කරමිනි.
ලෝක ශූරයන්ට පහර දී ආරම්භ කළ විශිෂ්ට ගමන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ගමන් කරන්නේ පිමි පනිමිනි. අද සවස් වන තුරු මෙතෙක් කණ්ඩායම් ලබා ගන්නා ලකුණු පුවරුවේ අන්තිමයාට හිටියේ ඇෆ්ගනිස්ථානය ය. මේ වනවිට වත්මන් ලෝක ශූරයන් ලකුණු සටහනේ අන්තිමට ඇද වැටී ඇත්තේය.
චෙන්නායිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනුවේ පකිස්ථාන කණ්ඩායමය. පකිස්තාන නායක බාබර් අසාම් පිිතිකරණය තේරුවේය. ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකියු ලකුණු 58ක් ලැබුවේය. නායක බාබර් අසාම් පන්දු 92ක දී ලකුණු 74ක් ලැබුවේය.

පසුපෙළ ස්ථාවර කළ ෂහාබ් ඛාන් සහ ඉෆ්ටිකාර් අහමඩ් වේගවත් ලකුණු 40 බැගින් ලැබූහ. අනෙක් පිිතිකරුවන් සම්බන්ධව කිව යුතු තරම් පිතිකරණ වික්‍රමයක් නැත. අමතර ලකුණු 17ක් සමග පකිසථානය ඕවර 50 අවසන් වනවිට කඩුළු හතකට ලකුණු 282ක් ලැබුවේය.
ඇෆ්ගනිස්ථාන පන්දු යන්නන් පකිස්ථාන කණ්ඩායමට පීඩනයක් සහිතව පන්දු යැව්වේය. හොඳම පන්දු යැවීම වාර්තා වූයේ 18 හැවිරිදි වමත් දඟ පන්දු යවන්නා වූ නූර් අහමඩ් ගෙනි. ඔහු පන්දු ඕවර 10 තුළ දී ලකුණු 49ට කඩුළු 03ක් බිඳ හෙළුවේය. දකුණත් මද වේග පන්දු යවන නවීන් උල් හක් ලකුණු 52කට කඩුළු 02ක් ලැබුවේය. මොහොමඩ් නබී පන්දු ඕවර 10 තුළ ලබා දුන්නේ ලකුණු 31කි. කඩුල්ලක් ලැබුවේය. හස්මතුල්ලා ඕමාර්සායි දැඩි ප්‍රහාරයකට ලක් වූ නමුත් කඩුල්ලක් ලැබුවේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඇෆ්ගනිස්ථානය චෙන්නායි පිටිය මුළුමනින්ම වර්ණවත් කළේය. එය එකෙකුට එකේක දෙවැනි නොවූ දුටුවන් පිනවන රංගනයක් බඳු වූයේය.

ආරම්භක පිතිකරු රහ්මතුල්ලා ගුරබාස් පන්දු 53ක දී හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 65ක් ලැබුවේය. ඔහුට නොදෙවෙනි පිතිකරණයක් අනෙක් පසින් ඊබ්‍රහීම් සඩ්රාන් දියත් කළේය. ආරම්භක කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 130කි. සහීඩ් ෂා ඇෆ්රිඩි 21 වැනි පන්දු ඕවරයේ මුල් පන්දුවේ දී ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ හෙලුවේය.
අනතුරුව විශිෂ්ට පිතිකරණයක නිරතවෙමින් පිටිය වර්ණවත් කළ ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 87කට දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ 33.3 පන්දුවේ දීය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 190කි.
ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 93ක් අවශ්‍ය වී තිබිණි. අපේ ක්‍රිකට් අත්දැකීමේ හැටියට ලකුණු 93ක් යනු බොහෝ දේ සිදුවිය හැකි දුරකි. ලකුණු 49කට දැවී ගිය කණ්ඩායමකට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක් ගොඩ නැගූ පසු ලකුණු 209කට දැවී ගිය කණ්ඩායමකට ලකුණු 93ක් හඹා යෑම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකිය.
එහෙත් ඇෆ්ගනිස්ථාන පිතිකරුවෝ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ඒ සම්බන්ධතාවය ගොඩනැගූහ. රහ්මට් ෂා පන්දු 84ක දි හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 77ක් නොදැවී ලබා ගන්නේ මිනිත්තු 129ක් කඩුල්ලේ රැඳෙමිනි. නායකත්වයේ වගකීම සහිත ගැඹුර දැරූ හස්මතුල්ලාහ් සහීඩි පන්දු 45ක දී නොදැවී ලකුණු 48ක් රැස් කළේ හතරේ පහර 4ක් සමගිනි. ඔහු මිනිත්තු 74ක් කඩුල්ලේ රැඳී සිටියේය.

මේ අසිරිමත් ජයග්‍රහණය ඔවුන් ලද කටුක පරාජය මාලාවක ලද අත්දැකීම්හි ගැඹුරය. මේ තරුණ ජවසම්පන්න කණ්ඩායම මේ ලෝක කුසලානයේ පෙරළියක් කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළහ.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද යළිත් එය තහවුරු කළේය. අද හවස් වනතුරු ලකුණු සටහනේ අන්තිමට සිටි දැන් ඔවුන් ඉන්නේ 06 වැනි තැනය. අපටත් හිටියාට වඩා ටිකක් හිතට පහසුය. අප 09 වැනි තැනය. අපට පහලින් ඉන්නේ ලෝක ශූර එංගලන්තය ය.