කාලගුණ අනාවැකි ඇත්ත වී තිබේ. සුපිරි වටයේ චමත්කාරජනකම තරගය වැස්සට හේදී ගොස් ඇත. තරගය අද නතර කළ තැන සිට හෙට ආරම්භ කිරීමට නියමිතය. එහෙත් ඛේදවාචකය වන්නේ කාලගුණ අනාවැකි අනුව හෙට දිනයේ කාලගුණයත් අද දිනයට සමාන වීමය.
ආසියානු කුසාලන තරගාවලියේ පළමු වටයේ ඉන්දියා පකිස්ථාන තරගයත් පල්ලේකැලේ දී දියවී ගියේය. හෙට පිළිබඳව ඇත්තේ මහත් වූ අපේක්ෂාවක් පමණි.
අද සවස 3ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනුවේ පකිස්ථාන කණ්ඩායමය. පකිස්ථානය පන්දු රැකීම තේරුවේය. එහෙත් තරගයේ 24 වැනි ඕවරයේ 1 වැනි පන්දුවේදී ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලුනේය. තරගය 4.52ට තාවකාලිකව නැවතිනි. ඒ වනවිට ඉන්දියානු කණ්ඩායම ලකුණු 146ට කඩුළු 02ක් බිඳවැටී තිබිණි.
විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන් නායක රෝහිත් ෂර්මා පන්දු 49ක් තුළ හතරේ පහර 6ක් සහ හයේ පහර 04ක් සමග ලකුණු 56ක් ලැබුවේය. ශුබ්මන් ගිල් පන්දු 52ක් තුළ හතරේ පහර 10ක් සමග ලකුණු 58ක් ලැබීය. ඉන්දියාවේ පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 121දී ය.
පන්දුවට පහර දෙමින් සිටියේ විරාට් කෝලි සහ කේ.එල්. රාහුල්ය. කෝලි පන්දු 16ක් තුළ ලකුණු 08ක්, කේ.එල්. රාහුල් පන්දු 28ක් තුළ ලකුණු 17ක් ලබා නොදැවි කඩුල්ලේ සිටියේය. ෂහීම් ෂාහ් ඇෆ්රිඩි සහ ෂඩාබ් ඛාන් පකිස්ථානය වෙනුවෙන් කඩුල්ල බැගින් බිඳ දැමූහ.
Fakhar Zaman helped the groundstaff in Columbo get the covers on…which was very nice 👌 pic.twitter.com/tOYlqCMyK0
— Aatif Nawaz (@AatifNawaz) September 10, 2023
තරගයට මහා වැසි ඇදහැලෙන විට පකිස්ථාන ක්රීඩක ෆකාර් සමාන්ගේ අපූරු කැපවීම ක්රීඩා ලෝලීන් තුළ මහත් ආදරයක් ඇති කළේය. ඔහු පිටියේ කම්කරුවන් සමග එක් වී වැසි ආවරණ ඇදගෙන යනු පෙනුණි.
විනිසුරුවරු තරගය අද දිනය තුළ අඩු ඕවර ගණනකින් හෝ පවත්වා නිම කිරීමට කරන කැප කිරීම දක්නට ලැබුණේය. පිටියේ කාර්ය මණ්ඩලය සිය උපරිමය ලබා දෙමින් සිටියහ.
සවස 5.55ට වැසි ආවරණ ඉවත් කෙරිනි. පිටියේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් පිටිය ක්රීඩාවට සුදුසු මට්ටමට පත් කිරීමට විශාල වෙහෙසක් දරමින් උන්හ. වැස්ස සම්පූර්ණයෙන් නැවතී ඇති බවක් පෙනුණි. එහෙත් පිටිය පැවතියේ ඉතාම තෙත බරිතවය. පන්දු යවන්නන් දිව එන සීමාවේ ජලය රැඳී තිබිණි. ඒ තත්ත්වය සමනය කරගෙන රාත්රී 8.30ට තරගය ආරම්භ කිරීමට තීන්දු කළත් 8.30න් පසු වර්ෂාව පතිත වුවහොත් තරගය අද දිනයේ අත් හරින්නට සිදුවන බවට පැහැදිලි විය.
විනිසුරුවරු රාත්රී 8 වනවිට දෙපාර්ශවයේ නායකයන් සමග සාකච්ඡා කර පන්දු ඕවර 30කට තරගය සීමා කිරීමට තීන්දු කළේය. එහෙත් රාත්රී 8.30 වනවිට යළිත් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුනේය.
ඒ අනුව තරගය අද දිනයේ දී අත් හැර දැමිනි. පන්දු ඕවර 20කට වඩා වැඩිපුර ක්රීඩා කර ඇති බැවින් හෙට තරගය අද නැවැත්වූ තැනින්න ආරම්භ කිරනු ඇත.