ශ්‍රී ලංකා කණ්ඩායම උතුර දකුණ මාරු වී අන්දොස් භාවයට පත් වී සිටිය දී ලෝක කුසලාන තරගාවලිය තුළ විචිත්‍ර පෙරළි සිදුවෙමින් තිබේ. ඊයේ නෙදර්ලන්ත – දකුණු අප්‍රිකානු තරගය තරගාවලියේ දෙවැනි පෙරළිය කළේය.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එළොව පොල් පේන්නට ගැසූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 28කින් පරාජය කරමිනි.
තරගය පැවැත්වූයේ ධර්මසාලා හි HPCA ක්‍රීඩාංගනයේ දී ය. ලෝක කුසලානය දිනා ගනු ඇතැයි තරම් විශ්වාසයක් සහිත දකුණු අප්‍රිකානු කණ්ඩායම නෙදර්ලන්තයට හමුවේ මේ අයුරුන් පරාජය වනු ඇැතැයි කිසිවෙක් විශ්වාස කළේ නැත. පුරෝකථනයන් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ගැනයය.
මේ දකුණු අප්‍රිකාවට මාස 11 ඇතුළත එල්ලවුන දෙවැනි ලන්දේසි ප්‍රහාරය විය. පසුගිය වසරේ නොවැම්බරයේදී නෙදර්ලන්තය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාව පරාජය කළේය. වසරක් යන්නට මත්තෙන් යළිත් ලෝක කුසලාන තරගාවලියක දී පරාජයකි. මේ රිදුම දකුණු අප්‍රිකාවට සෑහෙන කලක් තිබෙන බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා කීවේය. ලෝක කුසලාන තරගාවලි දෙකක දී නෙදරලන්තය හමුවේ පරාජය වූ එකම දකුණු අප්‍රිකානු නායකයා බවුමාය.
අප ලෝක කුසලාන තරගාවලියට යැව්වේ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය නොවේ. මේ රටේ ජාතික කණ්ඩායමය. මිලියන 20ක ජනගහණයේ නියෝජනය. වරක් ලෝක කුසලානයක් දිනා ගත් ශ්‍රී ලංකාව දැන් ඉන්නේ ඇෆ්ගනිස්ථානයෙන් පමණක් නොව නෙදර්ලන්තයෙන් ද පාඩම් ඉගෙන ගන්නට යොමු කළ යුතු තැනකය.
නෙදර්ලන්තය යනු මෙයට පෙර එක්දින ලෝක කුසලානයේ තරග දෙකක් පමණක් ජයග්‍රහණය කළ රටකි. ඒ ස්කොට්ලන්තයට (2007 දී) සහ නැමීබියාවට (2003 දී) එරෙහිවය. දකුණු අප්‍රිකාව මෙම තරගයට පැමිණෙමින් සිටියේ මෙම ලෝක කුසලානයේ ලෝක වාර්තා තබමිනි. ඔස්ට්‍රේලියාව ලකුණු 177කට දවාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් සහිතව, ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 448ක් වාර්තා කර ලකුණු 121ක ජයග්‍රහණයක් සහිත දැවැන්තයෙක් ලෙසය.
නමුත් ඊයේ වර්ෂාවෙන් සීමා වූ පන්දුවාර 43ක තරගයකදී ලකුණු 246ක් හඹා යාමට ඔවුන්ට නොහැකි විය. ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් රාත්‍රී කිහිපයකට පෙර ලකුණු 177කට සීමා කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට නෙදර්ලන්තය පාලනය කරගත නොහැකි විය. ඔවුන් නෙදර්ලන්තයට ලකුණු 245ක් ලබා ගැනීමට ඉඩ දුන්නේය.
නෙදර්ලන්ත පිතිකරණය.
කාසියේ වාසිය දිනුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය. නෙදර්ලන්තය ඉනිම අරඹා මුල් පෙළ ක්‍රීඩා කළ විලාසය අනුව හිතුවේ ඔවුන් ලකුණු 150ක් ලබා නොගෙන පහසු ජයග්‍රහණයක් දකුණු අප්‍රිකාවට ලබා දෙනු ඇති බවය. මුල් කඩුළු 06 ලකුණු 112කට දැවී ගියේය.

නමුත් හත්වැන්නා ලෙස පිටියට පැමිණි කඩුළු රකින ක්‍රීඩක ස්කොට් එඩ්වඩ්ස් තරගයේ ඉරණම වෙනස් කරන පළමු පියවර තැබුවේය. නොදැවී මිනිත්තු 102ක් කඩුල්ලේ රැඳෙමින් ඔහු පන්දු 69ක දී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 78ක් ලැබුවේය.
පසු පෙළ ඔහු සමග උන්නේය. රොඑලොෆ් වෑන් ඩර් මේව්, පන්දු 19ක දී ලකුණු 23ක් ලැබුවේය. ආර්යන් දත් නොදැවී ලකුණු 23ක් ලැබුවේ හයේ පහර 03ක් සමගිනි.
ඇත්ත වශයෙන්ම දකුණු අප්‍රිකානු පිලේ පන්දු යැවිම තරගය අවසන් වනවිට ඛේදවාචකයක් වී තිබිණි. ඔවුන් ලබා දුන් අතිරේක ලකුණු 32කි. වයිඩ් පන්දු පමණක් 21කි. ඒ අනුව පන්දු යවන්නන් ඕවර 3යි පන්දු 3ක් වයිඩ් වෙනුවෙන් අමතරව යවා තිබිණි. එක් නිපන්දුවකි. ලෙග් බයිස් 10කි. මේ අතිරේක ලකුණු සංඛ්‍යාව නෙදර්ලන්ත ඉනිමට එක් වූ දෙවැනියට වැඩිම ලකුණු ගණනය. ඒ ලකුණු සංඛ්‍යාව රැක ගත්තානම් දකුණු අප්‍රිකාව දිනුම්ය. බවුමා බෙහෙවින්ම කම්පා වුනේ ඒ ගැනය.
කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය පන්දු ඕවර 43කට සීමා විනි. කඩුළු 08ක් දැවී නෙදර්ලන්තය ලකුණු 246ක් රැස් කළේය. ලුන්ගි න්ගිඩි, මාර්කෝ ජෙන්සන්, කාලෝස් රබාඩා කඩුළු 02ක බැගින් ලැබූහ. ජෙරල් කොඑට්සි, කේෂේව් මහරාජ් කඩුල්ල බැගින් දවා ගත්හ.
ලකුණු 247ක් හඹා යෑමට පැමිණි ප්‍රබල දකුණු අප්‍රිකානුවන් ලකුණු 207ක් තුළ දැවී ගියහ. ඩේවිඩ් මිලර් ලකුණු 43ක් සහ කේෂේව් මහරාජ් ලකුණු 40ක් ලැබුවේය.
නෙදර්ලන්ත පන්දු යැවීමේ බලඇණිය එල්ල කළ පීඩනය සිතාගත නොහැකි තරම් ප්‍රබල එකක් විය. ලෝගන් වෑන් බීක් පන්දු ඕවර 8.5ක දී කඩුළු 03ක්, පවුල් වැන් මීකෙරෙන් ලකුණු 40ට කඩුළු 02ක්, රොලොෆ් වෑන් ඩර් මේව ලකුණු 34ට කඩුළු 02ක්, බස් ඩී ලීඩ් ලකුණ 36කට කඩුළු 2ක් ලැබුවේය. කොලින් ඇකෙමන් කඩුල්ලක් දවා ගත්තේය.

නෙදර්ලන්තය දකුණු අප්‍රිකානු කණ්ඩායම සුන් කළේ දඟපන්දු යවන්නන් යොදවමිනි. පවර්ප්ලේ තුළ දඟපන්දු යවන්නන් යොදා ගැනීමේ නෙදර්ලන්තයේ උපක්‍රම හමුවේ තමන් මවිතයට පත් වූ බව දකුණු අප්‍රිකානු නායක නා බවුමා කීවේය.
“ඔවුන්ගේ පවර්ප්ලේ තුළ ඔවුන් කළ දේ අපූරුයි. ඔවුන් කැඳවූ දඟ පන්දු යවන්නන්ට අප අනුගත වී සිටියෙ නෑ. අපේ ක්‍රීඩාවේ යම් යම් දුර්වලතා ඔවුන් ප්‍රයෝජනයට ගත්තා. “ බවුමා කීවේය.
නෙදර්ලන්ත ජයග්‍රහණය සහ ඇෆ්ගනිස්ථාන ජයග්‍රහණයත් සමග දැන් අප ඉන්නා තැන ගැන තක්සේරුවක් අපේ ක්‍රිකට් ඔස්තාද්ලාට ඇති දැයි අපි විමසා සිටිමු. පරදින විට ක්‍රීඩකයන්ට පලු යන්නට බැන්නත් මේ ක්‍රීඩකයින් 11 දෙනා මේ නව නිග්‍රහයට පත් වෙමින් ලෝකය ඉදිරිපිට නිරුවත් වන්නේ ඔවුන් පසුප සිටින ගොබ්බයින රැසකගේ ක්‍රියාකලාපය නිසා බව දැන්වත් රට තේරුම් ගත යුතුය.