දිනසේන රතුගමගේ
යාපනයේ වඩමරච්චි නැගෙනහිර කුඩත්තනෙයි ප්රදේශයේදී නාවික හමුදාවේ අණ නොතකා ධාවනය කළ වැලි ටිපර් රථයකට නාවික හමුදාව අද ( 30 ) උදෑසන වෙඩි තැබුවේය.
වෙඩි තැබීමෙන් පසුව ටිපර් රථය නතර කළ නීති විරෝධී වැලි ජාවාරම්කරුවෝ රථය අතහැර කැළයට පලාගොස් තිබේ.
නාවික හමුදා භට පිරිසක් මේ මාර්ගයේ සෝදිස් මෙහෙයුමක නිරතව සිටියදී කැළෑබද ප්රදේශයක සිට වැලි පටවාගෙන පැමිණි ටිපර් රථයක් දැක එය නතර කිරීමට සංඥා කළ අවස්ථාවේදි එය නොනවත්වා ධාවනය කරවීමට රියදුරා උත්සහ කළ නිසා නාවික හමුදා නිලදාරීන් ඊට වෙඩි තබා ඇත.
ටිපර් රථයට ඉදිරියෙන් ඔත්තු බලමින් ගමන් කල බවට සැකකෙරෙන යතුරු පැදියක්ද සොයා ගෙන ඇති අතර නාවික හමුදාවේ වෙඩි තැබීම් වලින් කිසිවෙකු හෝ තුවාල ලබා නොමැත.