ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයේ එකසිය විසි දෙනකුගේ පීසීආර් පරික්ෂණ වාර්තා ලැබි ඇති අතර ඔවුනට කොවිඩ් 19 වෛරසය වැලදි නැති බවට තහවුරු වී ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය චමිල් වීරකෝන් මහතා පවසයි.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ වසර තුනක සීමාවාසික පුහුණුව අවසන් කළ අකුරණ පදිංචි වෛද්‍යවරයාගේ පළමු ආශ්‍රිතයන් කිසිවකු හට කොවිඩ් වෛරසය ආසාදනය වී නැති බවට ඉන් තහවුරුව ඇති බවද ඔහු පැවසීය.
රෝහලේ වෙනත් ඒකකවල සේවයේ නියුතු වෛද්‍ය නිළධාරිනියකට සහ හෙද නිළධාරියකට පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔවුනට වෛරසය ආසාදනය වූයේ කෙලෙසද යන්න තවදුරටත් විමර්ශනය කරන බවද හෙතෙම කියා සිටියේය.
ගම්පොල රෝහලේ විශේෂඥ වෛද්‍යවරු විසිදෙනකු ද වෛද්‍යවරුන් අනූ හතර දෙනකුද සීමාවාසීක වෛද්‍යවරු විසිතුන් දෙනකුද හෙද කාර්යය මණ්ඩලය දෙසිය තිස්හතර දෙනකු ද සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකසිය අනු දෙනකු ද පරිපූරක වෛද්‍ය සේවා නිළධාරින් විසිඅට දෙනකු සහ අතුරු වෛද්‍ය සේවා නිළධාරින් තිස්පස් දෙනකු ද සේවයේ නියුතුව සිටින බවද කී රෝහල් අධ්යක්ෂවරයා සමස්ථ කාර්යය මණ්ඩලය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර ලබා දිමේ කටයුතුවල නියැලී සිටින බව කීය.
සාදයක් පවත්වා කොවිඩ් පැතිරවූ බවට රට පුරා ප්‍රචාරය වූ අසත්‍ය පුවත හේතුවෙන් මේ වන විට ගම්පොළ රෝහලට රෝගින් පැමිණිමේ අඩුවක් දක්නට ලැබෙන බව කී රෝහල් අධ්යක්ෂවරයා හෘද රෝග ස්නායු රෝග නිව්මෝනියාව, ගර්භනී කාන්තාවන් සහ හදිසි අනතුරුවලට මුහුණ පාන ගම්පොල අවට ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ද කියා සිටියේය. තමන්ට හිදිසි රෝග තත්ත්වයක් ඇති වුවහොත් බිය නොවි රෝහලට පැමිණෙන ලෙසත් , කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම පිණිසවන සියළු ක්‍රියාමාර්ග රෝහල තුළ ක්‍රියාත්මක වන බවත් ඔහු කීවේය.
අද (23) සිට සාමාන්‍ය පරිදි රෝහල් කාර්යය මණ්ඩලය සේවයට වාර්තා කර ඇති බැවින් කොවිඩ් 19 වෛරසය පිළිබදව කිසිදු සැකයක් නොතබා රෝහලට පැමිණ ප්‍රතිකාර ගන්නා ලෙසත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය චමිල් විජේකෝන් මහජනතාවට දැනුම් දෙයි.