පාස්කු පිපිරුමෙන් අනතුරුව දෙවැනි මරාගෙන මැරෙන ප්රහාරයකට සූදානමින් සිටියදී සහරාන්ගේ සොයුරන් දෙදෙනා, පියා, මව ඇතුළු පිරිස සමග සයින්දුමරුදු පිපුරුම සිදුවූ නිවසේ සිට පොලිස් නිලධාරියෙකුගේ සහයෙන් පළාගිය සාරා නැමැති කාන්තාව මාස හතරක කාලයක් මඩකලපුවේ රැදී සිටීමෙන් පසු ඉන්දියාවට පළාගොස් ඇති බව හෙළිවී තිබේ.
එම කාන්තාව කලවංචිකුඩි ප්රදේශයේ නිවාස හතරක මාරුවෙන් මාරුවට රැදී සිට තිබේ.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කිසිදු පොලිස් විමර්ශන අංශයක් ඇය සම්බන්ධයෙන් සොයා බැලීමක් කර නැති බව මේ වන විට අනාවරණය වෙමින් ඇත. ඊට මුල්වී ඇත්තේ සයින්දුමරුදු නිවසේ පිපුරුමෙන් මිය ගිය අය අතර ඇගේ නමත් සටහන් වී තිබීම නිසාය.
සාරා මඩකලපුවේ රැඳී සිට ඇති බවත් ඇයට පැන යන්නට ආරක්ෂාව සපයා ඇත්තේ පොලිස් නිලධාරියෙක් බවටත් කරුණු හෙළිවී ඇත්තේ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන්ටය.
ඒ බව සාක්ෂි සහිතව කරුණු හෙළිකරගත් එම පොලිස් ඒකකයේ නිලධාරීන් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්රමරත්නට ඒ බව දැනුම්දී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (13) එම පොලිස් නිලධාරියාව කල්මුණේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙක්වන ඔහු අත්අඩංගුවට ගන්නා විට අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිට ඇත. මෙම පොලිස් නිලධාරියා සහරාන්ගේ අන්තවාදී කල්ලියේ ප්රබලයෙක් වන ආමි මොහිදින් නැමැත්තාගේ ඥාතියෙක් බවටද විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇත.
ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන පැවැත්වෙන බවත් අත්අඩංගුවේ සිටින ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ප්රශ්න කිරීම් හමුවේ මේ වන විට මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු අනාවරණය කරමින් ඇති බවත් පොලිස් තොරතුරු සදහන් කළේය.