විදේශගත ශ්‍රි ලාංකිකයින් මෙරටට පැමිණීමේදී බලහත්කාරයෙන් හෝටල් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව සෑම රටකම ශ්‍රි ලංකා තානාපති කාර්යාල ඉදිරියේ විරෝධතා පෙළක් සංවිධානය කිරීමට විදේශගත ශ්‍රි ලාංකික සංවිධාන කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
මේ වනවිටත් ඉතාලියේ සහ මැදපෙරදිග එවැනි විරෝධතා පවත්වා ඇති අතර විදේශගත ශ්‍රි ලාංකිකයන් සිටින සෑම රටකම ශ්‍රි ලංකා තානාපති කාර්යාල ඉදිරිපිට එවැනි විරෝධතා සංවිධානය කිරීමට ඔවුන් පෙළ ගැසෙමින් සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වයට විශේෂයෙන් හේතු වී ඇත්තේ මෙම විදේශගත ශ්‍රි ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී ඔවුන් හෝටල්වල නිරෝධායනයට යොමු කිරීමෙන් විශාල මුදලක් ගසා කෑමට රජයට හිතවත් ඒජන්තයින් කටයුතු කරන බවට ඔවුන් චෝදනා කිරීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාවලිය බොහෝ විට ලබන සතියේදී ඉදිරිපත්වීමට නියමිත බැවින් මෙය හ්රි ලංකා රජයට බලපෑම් කිරීමට හොඳම අවස්ථාවක් ලෙස ඔවුන් සලකන බවත් මෙම විරෝධතා හමුවේ රජය මෙම පිළිවෙත වෙනස් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ විදෙස්ගත ශ්‍රි ලාංකික පිරිසක් ලංකාසරට පැවසූහ.
පසුගිය 04 වැනිදා ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයය ඉදිරිපිට ශ්‍රි ලාංකිකයන් පිරිසක් එවැනි විරෝධතාවක් සංවිධානය කළ අතර එහිදී ඔවුන් සෘජුවම චෝදනා කළේ රජයට හිතවත් ගජමිතුරු ජාවාරම්කාරයින්ට මෙම හෝටල් නිරෝධායන හරහා තමන් මහන්සියෙන් උපයන මුදල් ගසා කෑමට කටයුතු කරන බවය. බොහෝ රටවල් තම විදේශගත පුද්ගලයන් මව් රටට පැමිණීමේදී සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි නිරීක්ෂණ මත නිවෙස්වල නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතත් ශ්‍රි ලංකාවේ ඊට අදාළ පහසුකම් තිබියදී පවා එවැනි පියවරක් ගැනීමට උනන්දු නොවීම ගැන ඔවුහු කියති.
මේ වනවිට මෙම හෝටල් නිරෝධායන වැඩපිළිවෙළ රජයට හිතවත් එක් සමාගමක් මඟින් පමණක් මෙහෙයවනු ලැබීම හෙතුවෙන් ඔවුන් නියම කරන මිලකට මෙම හොටල් නිරෝධායනයට ලක් වීමට ශ්‍රි ලාංකිකයන්ට සිදුව ඇත. ඔවුන් ඇතැම් අවස්ථාවල කිසිදු පහසුකකමක් නොමැති නවාතැන්වලට පවා යොමු කරන තත්ත්වයක් පැවති අකර ඒ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචන හේතුවෙන් එවැනි තත්ත්වයකට මුහුණ දීමේ අවස්ථා අඩු වුවද ඔවුන්ගෙන් අයකරනු ලබන මුදල දරා ගැනීම අසීරු බවට ඔවුහු චෝදනා කරති.
සාමාන්‍යයෙන් හොටල් නිරෝධායනය සඳහා පුද්ගලයකු රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් දින 14ක් සඳහා හෝටල්වලට ගෙවිය යුතු වන අතර එක පවුලක් කිහිප දෙනකු පැමිණෙන විට විශාල මුදලක් ඔවුන්ට හෝටල්වලට ගෙවීමට සිදුව ඇත.