මෙරටට පැමිණීමට සූදානමින් සිටින විදෙස්ගත ශ්‍රමිකයන් 40,000න් 20,000කගේ වගකීම භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ රජයට දැනුම් දී ඇත.
විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීමට තවමත් රජය නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුනපා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.
රට ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණදුන් සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව ඉදිරිපත්ව එම තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා කැපවී ක්‍රියාකළ ආකාරය සිහිපත් කළ ඒ මහතා ව්‍යසනය හමුවේ ද ඒ ආකාරයටම කටයුතු කළ බවත් විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණ පා සිටින ගැටලුවලින් ඔවුන් මුදාගෙන මෙරටට ගෙන්වා දෙන්න නම් ඔවුන් භාරගැනීමට සූදානම් බවත් කීය.
විදෙස් රටවල විවිධ රැකියාවන්ට ගොස් දහදුක් විඳිමින් මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙමින් සිටින විදෙස් ශ්‍රමිකයින් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අද අසරණව සිටින බවත් එවැනි මොහොතක ඔවුන් ගැන නොබලා ආණ්ඩුව අහක බලාගෙන සිටියත් වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට එලෙස අහක බලාගෙන සිටිය නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස්ගත ශ්‍රමිකයන් අන්තඅසරණ තත්ත්වයකට පත්වූ බවත් අපාදුක් විඳින ඒ අසරණ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගැනීම සදහා රජය වහාම ක්‍රියා කළයුතු බවත් ලාල්කාන්ත මහතා පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් 40,000ට හරි අඩක් භාරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් ඔවුන්ට අවශ්‍ය කරන ස්ථාන වෙන්කර ගැනීම, ඊට අවශ්‍ය ආධාර උපකාර සොයාගැනීම, මූල්‍ය පහසුකම් ලබාගැනීමට තමන් කටයුතු කළත් ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගැනීම රජය සිදු කළ යුතු අතර සෞඛ්‍ය පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වය ගත යුතු බවත් ඒ මහතා පවසයි.
විදෙස්ගත ශ්‍රමිකයින් බලාගැනීම තමන්ට අභියෝගයක් ලෙස සැලකුනත් එය ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් නොවන්නේ ඉතිහාසයේ විවිධ යුගවල දී මෙරට මුහුණ පෑ විවිධ වූ විපත්වලදී ජනතාව ඉන් මුදවාගැනීම සඳහා ප්‍රධානතම මැදිහත්කරුවකු ලෙස කටයුතු කර තිබෙන නිසා බව පැවසීය.
සුනාමියෙන් විනාශ වී ගිය දුම්රිය මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ අභියෝගය ආණ්ඩුවට භාරගැනීමට නොහැකිව අවුරුද්දක කාලයකට එම කටයුත්ත ඉන්දියාවට දීමට සූදානම් වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී දින පනස් හයක් තුළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් ඉන්දියාවට මෙරටින් යෑමට තිබූ විශාල මුදලක් ඉතිරි කර දුන් ආකාරය සිහිපත් කළ ලාල්කාන්ත මහතා එවන් අභියෝග ජයගත් ජනතා විමුක්ති පෙරමුණට මෙය අභියෝගයක් නොවන බව වැඩිදුරටත් සඳහන් කළේය.