දිනසේන රතුගමගේ
නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටස්තරව කොවිඩ් ආසාදනය වුණු පුද්ගලයින් තුන් දෙනෙකු 21 දා සවස වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
මේ තුන්දෙනා වවුනියාව නෙඩුන්කේණී ප්‍රදේශයේ මහා මාර්ග ඉදිකිරීමේ කටයුතු වල නිරතව සිටින තුන් දෙනෙකි.
ඔවුන් නෙඩුන්කේණී වැඩ බිමේ සිටියදී නෙඩුන්කේණී සෞඛ්‍ය බලධාරීන් විසින් අහඹු ලෙස සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකදී ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමෙන් පසුව දෙවන පරීක්ෂණයක් සදහා වවුනියාව මහ රෝහලට රැගෙන විත් කොරෝනා වාට්ටුවට ඇතුළත් කොට තිබේ.
පිළියන්දල, කෑගල්ල දංඕටිට හා බදුල්ල යන පළාත් වල පදිංචි මොවුන් මීට දින කීපයකට පෙර නිවාඩු ගොස් ආපසු නෙඩුන්කේණියට පැමිණ තිබේ.
බදුල්ලේ පුද්ගලයා මහනුවර- යාපනය බස් රථයකින් නෙඩුන්කේණියට පැමිණ ඇති අතර සෙසු දෙදෙනා නෙඩුන්කේණියට පැමිණ ඇත්තේ ආයතනයේ වාහන දෙකකිනි.
වවුනියාව මහ රෝහලට මොවුන් තුන් දෙනා ඇතුළත් කොට පී.සී.ආර්. දෙවන පරීක්ෂණයක් වෙත යොමු කොට ඇති අතර එහි ප්‍රතිපල ලැබෙන තුරු ඔවුන්ව දැඩි ආරක්ෂාව යටතේ වවුනියාව මහ රෝහලේ රඳවා සිටිති.
මොවුන් තුන් දෙනාට අමතරව වවුනියාව මහ රෝහලේදී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කළ 25 දෙනෙකුට මේ වන විට කොරෝනා රෝගය වැළදී ඇති අතර ඔවුන් සියලුම දෙනා වවුනියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන එන ලද පිරිසකි.