2015 ජනාධිපතිවරණයේ දී
සිල් රෙදි බෙදාදීමේ වැඩ සටහනක් සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු රුපියල් මිලියන 600ක මුදලක් ලබාගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම හා ඊට අනුබල දීමේ චෝදනාවට වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ අනුෂ පැල්පිට යන අය එම චෝදනාවලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කර ඇත.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය මීට ඉහත නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
වැරදිකරුවන් වූ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් හා දෙදෙනාට වෙන වෙනම රුපියල් ලක්ෂ 20 බැගින් දඩ මුදල් ගෙවන ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සිදුවූ පාඩුව වෙනුවෙන් විත්තිකරුවන් දෙදෙනාට වෙන වෙනම රුපියල් මිලියන 50 ක් බැගින් වන්දි මුදල් ගෙවන ලෙසත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබුණි.
එලෙස තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ලබාදෙන ලද නියෝගය දෝෂ සහිත බව පවසමින් තමන්ට එරෙහිව දී ඇති තීන්දු අත්හිටුවා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබූ අතර ඒ අනුව මෙම නියෝගය ලබා දී තිබේ.