රන්ජන් රාමනායක උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත දැනට ලබා දී ඇති දඬුවම නීති පොතේ නොමැති දඬුවමක් නිසා ඒ ගැන සොයා බලා මන්ත්‍රී යෝජනාවක් සකස් කිරීමට නීතිඥ මණ්ඩලයක් පත්කිරීමට ජාතික ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) කටයුතු කළේය.
මෙම තීරණය ගනු ලැබුවේ ජනබලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද ජාතික ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුනු අවස්ථාවේ දීය.
මෙම විද්වත් නීතිඥ කමිටුවේ සභාපති ලෙස උපුල් ජයසූරිය පත් කෙරිනි. මෙවැනි වරදකට ලැබිය යුතු දඬුවම කුමක් දැයි සොයා බලා සකස් කර පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට ජාතික ජනබලවේගය සැලසුම් කර තිබේ.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා ද, භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා ද, උප සභාපතිවරු ලෙස ඉම්තියාස් බකීර් මාකාර්, රවී සමරවීර, කබීර් හෂීම්, රාජිත සේනාරත්න හා ලක්ෂ්මන් කිරිඇල්ල පත් කරනු ලැබුවේය. පක්ෂ මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර හා ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක කලින් පත් වී සිටියේය.