දිනසේන රතුගමගේ –
යුද සමයේදි අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බලන සංගම්වල නියෝජිතයින්ට ඉතා ඉක්මනින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වීමට අවස්ථාව සලසා දෙන බවට පිළිතුරක් ලැබී ඇතැයි එම සංගමයේ වවුනියාව ශාඛාවේ සභාපතිනී කාසිපිල්ලේ ජෙයවනිතා අද ( 1 ) පැවසුවාය.
තම සංගමය ඇතුළු සංගම් කීපයක් විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් වශයෙන් මෙම පිළිතුර ලැබී ඇති බවද සභාපතිවරිය කියා සිටියාය.
මේ අතර විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ ඉන්දීය ජනමාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ යුද සමයේදී අතුරුදහන් වූ පුදගලයින් සම්බන්ධයෙන් සොයා බලා යම් විසඳුමක් ලබා දීමේ ප්රශ්නය අවසන් කිරීමට ජනාධිපතිවරයාට දැඩි වුවමනාවක් ඇති බවයි.
ජනාධිපතිවරයා අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයා බලන සංවිධාන වල නියෝජිතයින් හමු වීමට තීරණය කොට ඇති බව සනාථ කළ කොළඹගේ මෙම සාකච්ඡාවෙන් පසුව ඔවුන්ගේ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරය ලැබෙනු ඇතැයි විශ්වාසයද පල කළේය.