ශ්‍රී ලංකාවේ කොවිඩ් හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදාන කිරීමට මාලදිවයින් දූපතක් වෙන්කරදීමට එරට රජය ඉදිරිපත් වී තිබේ.
මාලදිවයින රජය මෙරට විදේශ අමාත්‍යාංශයට නිල ප්‍රකාශයක් මගින් සිය ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කර ඇත.
මුස්ලිම් ප්‍රජාව විසින් දිගින් දිගටම සිදුකරනු ලබන ඉල්ලීම් ගැන අවධානය යොමු කිරීමෙන් අනතුරුව මාලදිවයින මෙම යෝජනාව කර ඇති බව ඩේලි මිරර් පුවත පෙන්වා දෙයි.
මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා උපුටා දක්වමින් ඩේලි මිරර් පෙන්වාදෙන්නේ විදේශ අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ මාර්ගෝපදේශයක් සකස් කර එවැනි ඉල්ලීමක් කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලන ලෙසය.
මුස්ලිම් කොවිඩ් වින්දිතයින්ගේ ආදාහනය සිය ආගමික විශ්වාසයන්ට පටහැනි බවට මුස්ලිම් ප්‍රජාව චෝදනා කර සිටියි.
මාලදිවයින දූපත් ගණනාවකින් සමන්විත ය. කෝවිඩ් වින්දිතයින් භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සමාන කිසිදු ගැටලුවකට එරට මුහුණ නොදෙන බව වෛද්‍ය හේමන්ත හේරත් පවසා ඇත.
කෙසේවෙතත් මාලදිවයින් රජයේ යෝජනාවට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි ක්‍රියාවලියක ප්රායෝගිකභාවය පිළිබඳව අධ්‍යයනය කරනු ඇත.
මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් අවසන් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පවසා තිබේ.
කොවිඩ් වින්දිතයින්ගේ භූමදානය සඳහා ශ්‍රී ලංකාව තුළ අඩු ජල මට්ටමක් සහිත ඉඩමක් සොයා ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ සෞඛ්‍ය විශේෂඥයින් ගෙන් ඉල්ලීමක් කර තිබුණි.