දිනසේන රතුගමගේ –
නාවික හමුදාව විසින් යාපනයේ එළුවතීව් දූපත් ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රාවක් 20 දා අත් අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් සිව් දෙනා සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව පිළිබඳ ඉදිරි පරික්ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරමින් පවතින අතර, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
පවත්නා කොවිඩ් –19 වසංගතයේ බලපෑම හේතුවෙන් සීමා වී තිබූ, මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් විදෙස් ධීවරයින් විසින් සිදු කරනු ලබන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් පසුගිය සතියේ සිට නැවත ආරම්භ කිරීමත් සමඟ, අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණි ඉන්දීය ධීවරයින් විශාල පිරිසක් අත අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.