දිනසේන රතුගමගේ –
මුලතිව් වවුනිකුලම වැවට වැටුනු කැබ් රථයේ ගමන් ගත් සිව් දෙනාගෙන් තිදෙනෙක් ඊයේ ජීවිතක්ෂයට පත් වූ බව මාන්කුලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වවුනිකුලම වැව් කණ්ඩිය මතින් අධික වේගයෙන් මෙම කැබ් රථය ධාවනය වූ අවස්ථාවේදී එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව කැබ් රථය 19 දා පස්වරු 4.45 ට පමණ වැවට වැටී ඇති අතර ඒ අවස්ථාවේම එහි සිටි වයස අවුරුදු 12 ක ළමයෙකු ගොඩට පැමිණ තිබේ.
ගම්වාසීන් වැවට පැන කැබ් රථය පරීක්ෂා කිරීමදී ඒ තුළ සිටි තවත් වයස අවුරුදු 10 ක ළමයෙකු දැක ඔහුව මාන්කුලම රෝහලට රැගෙන ගොස් ඇතත් එම ළමයා රෝහලේදී මියගොස් ඇත.
මුලතිව් සෙල්වපුරම් ප්රදේශයේ සිට ගමන් කළ කැබ් රථයක් වැවට පෙරළී ඇති අතර අතුරුදහන් වූ පියා හා දියණිය සොයා ආරක්ෂක අංශ වල ජීවිත ආරක්ෂක කණ්ඩායම් හා ධීවරයින් බෝට්ටු කීපයක් යොදාගෙන වවුනිකුලම වැවේ මෙහෙයුම් ක්රියාත්මක කිරීමෙන් පසුව මියගිය තිස් හතර හැවිරිදි පියාගේ සහ දෙහැවිරිදි දියණියගේ මළ සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී තිබේ.
මේ සිද්ධියෙන් මියගිය තිදෙනාගේම මළ සිරුරු මාන්කුලම රෝහල වෙත පරීක්ෂණ කටයුතු සදහා බාර දී තිබේ.
මල්ලාවී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.