පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වැලකීමට නම් මුදල් ලබාදෙන ලෙස බලපෑම් කරමින් රුපියල් 64000කට ආසන්න මුදලක් කොල්ල කෑ බව කියන පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට මුහුණ දුන්නේ මහනුවර නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර මහනුවර උසස් බාලිකා විදුහල අසලදී මෙම පුද්ගලයා පැහැර ගෙන ගොස් පහර දි මුදල් කොල්ල කෑ බවට චෝදනා ලත් මෙම පොලිස් නිළධාරියා හැටන් පොලිස් කොට්ඨාශයට අනුයුක්ත අයෙකි.
වාර්තා වන පරිදි පසුගිය 15 වැනිදා මෙම පුද්ගලයා මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසළ දී අදාල පොලිස් නිලධාරියා ඇතුළු පිරිස කෞතුක භාණ්ඩ කොල්ලයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට අවශ්‍යය බව පවසා ත්‍රිරෝද රථයකට නංවාගෙන බලගොල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. එහිදී අතපය බැඳ පහරදී තම මුදල් කොල්ල කෑ බව ඔහු පොලිසියට පවසා තිබේ.
ඒ මොහොතේ ඔහු සතුව තිබූ රුපියල් 4500.00 ක මුදලක් පැහැරගන ගැනීමෙන් පසු ඔහුගේ ඒ.ටී.එම් කාඩ්පත උපයෝගි කරගනිමින් සැකකරුවන් රුපියල් 60000.00 ක මුදලක්ද ලබාගත් බව ද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා ම මහනුවර මූලස්ථාන පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ සැකකරුවන් තිදෙනා හා ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය මෙන්ම පැහැරගත් බව කියන මුදල් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් බලගොල්ල, මාවනැල්ල හා මැණික්හින්න ප්‍රදේශවල පදංචිකරුවෝ වෙති.සැකකරුවන් සියලු දෙනා කෞතුක වස්තු ජාවාරමකට සම්බන්ධ වූවන් බව හෙළිව තිබේ.මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජය සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත, උප පොලිස් පරීක්ෂක ලයනල්,පොලිස් සැරයන් 19629 හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් 6942 මහින්ද, පොලිස් සැරයන් 56718 තෙන්නකෝන්, පොලිස් සැරයන් 64760 ක්රිෂ්ණමුර්ති යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් ත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් මෙම මස 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.