මහනුවර උසස් බාලිකා , ස්වර්ණමාලි බාලිකා, සීතාදේවි, කිංස්වුඩ් ඇතුළුව මහනුවර නගරයේ ජාතික පාසල් හතෙන් හයක් දරුණු ඩෙංගු අවදානම් සහිත පාසල් ලෙස හඳුනා ගෙන තිබේ.
පේරාදෙණිය පාරේ ඇති පාසල් රැසක ඩෙංගු කීටයන් බෝවිමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බව ද නාගරික සෞඛය වෛද්‍ය නිලධාරීනී ඩබ්ලිව්. පෙරියසාමි පැවසුවාය.
මහනුවර නගර සීමාවේ ජාතික පාසල් සහිතව පාසල් පනස් දෙකක් ඇති බවද , සති දහයක කාලයක් පාසල් වසා තැබීම නිසා අපිරිසිදුව ඇති මේ සියලුම පාසල් වහාම පිරිසිදු කළ යුතු බව ද මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් කීය.
මේ වන විටත් මහනුවර නගර සීමාව තුල ඩෙංගු රෝගින් එකසිය අනූදෙනකු සිටින අතර මෙය සැලකිය යුතු තත්ත්වයක් බවද හෙතම පෙන්වා දුන්නේය. යම් හෙයකින් පාසල් විවෘත කලේ නම් , කොවිඩ් වසංගතයට වඩා විශාල අවධානමක් ඩෙංගු ව්‍යාප්තිය හරහා සිදුව තිබෙන බවද හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් වහාම සාකච්ඡා පැවැත්වීමට විදුහල්පතිවරුන් කැඳවා පාසල් පිරිසිදු කිරිමට වහාම පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායකට දැන්වීය.
තව කෙනකුගේ ඇගේ වගකිම ගසා තමන්ගේ වගකිමෙන් බැහැර විමට වෙර දරන ඇතැම් නිළධාරින් හේතුවෙන් ඩෙංගු පැතිර යාමෙ අවධානම දැඩිව තිබෙන බවත්, නිළධාරින් මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිත සමග බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අද (1) පැවති පළාත් සෞඛ්‍ය කමිටු රැස්වීමේදි ඍජුව චෝදනා කළේය.