කොරෝනා වෛරසය ආසාදනය වී සිය ශරීරය තුළින්ම හටගත් විෂබීජයක් රුධිරයට එක්වීම නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටි තමා සති 3කට පෙර සිටියේ මරණ මංචකයේ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
තමන්ට කෘතිම ශ්වසන ආධාරක යන්ත්රයකද සහාය දෙමින් එහි දක්නට ලැබුණු දර්ශක අනුව තම ජීවිතය බේරා ගැනීම ඉතාම අසීරු තත්වයක පැවති බවද ඇය ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් කියා සිටියා ය.
කෙසේ වෙතත් වෛද්‍ය, හෙද, සාත්තු සේවා කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ තම දරුවන් දෙදෙනා නිසා පමණක්ම තමා තුළ හටගත් ආත්ම ශක්තිය මගින් නැවතත් යථා තත්වයට පත්වීමට හැකි වු බව අමාත්‍යවරිය අවධාරණය කළාය.
“මම දැනට සති තුනකට විතර ඉස්සෙල්ලා මම මරණ මංචකයේ හිටියේ. මට ජීවිතේ දාලා යන්න පුළුවන් කම තිබුණා එක හේතුවක් ඇරෙන්න ඒ මගේ දරුවන් කෙරෙහි මගේ තිබුණු බැඳීම. මට ඉන්නෙ දුවලා දෙන්නෙක් ඒ දෙන්නම අවිවාහකයි.
මට covid-19 වැළඳිලා ඊට අමතරව මොන කරුමෙකට ද දන්නේ නෑ ඇඟ ඇතුලෙන් ම විෂබීජයක් ලේවලට ගියා. ලේ වලට මේ විෂබීජය ගියාට පස්සේ ඒකෙන් ගලවා ගන්නවා කියන්නේ කියන්නෙ ඉතාම අමාරු වැඩක්. සී ආර් පී අගය පහක් තියෙන්න ඕනේ එක මගේ 300 ගානට ගියා. මේකත් එක්කම මාව දාලා තිබුනේ ventilator එකට. machine එකේ පෙන්නන මගේ දත්ත ඉතාම නරකට තිබුණේ. මට හුස්ම ගන්න බෑ මට කතා කරගන්න බෑ. මට ජීවත් ජීවත් වෙන්න බෑ කියලා මට දැණුනා. මගේ නමස්කාරය මම අයි ඩී එච් රෝහලට පුදකරනවා. එහි ඉන්නේ මිහිපිට දෙවිවරු. ඒ අය හැම ලෙඩක්ම ලෙඩෙක් ම පිලිගන්නෙ ඒ විදියට. මට ප්ලාස්ටික් පිඟානකුයි කෝප්පෙකුයි දීලා තිබුණා. මම එනකල්ම පාවිච්චි කළේ ඒක. ඒ අය හැම ලෙඩෙකුටම පුදුම හොඳින් බලාගන්නවා.
මම යන්න ලෑස්ති වෙලා හිටියෙ. ඒත් මගේ දරුවො දෙන්නා මතක් වෙද්දී ඒ බැඳීම තමයි මට යන්න බෑ කියල හිතුනෙ.
මට එදා හිතුනා කාටවත්ම හිත රිදෙන්න දෙයක් වත් කරන්න හොඳ නෑ මේ ජීවිතයේ කියලා. කාටවත් හිංසාවක් කරන්න හොඳ නෑ. මට වෛද්‍යවරු කීවේ හිතින් වැටුනොත් ඇඟ ටුක් ගාලා වැටෙනව කියලා. ඒ නිසා ආත්ම විශ්වාසය ඇතිකර ගන්න කිව්වා. මම යන්න සූදානමින් හිටියේ. මම හිටිය තත්වය යටතේ කාටවත් ජීවත් වෙන්න බැහැ. ඒ තරම් තත්ත්වය නරකට තිබුණේ
විජමු ලොකුබණ්ඩාර මැතිතුමා covid හැදිල රෝහලට ආපු වෙලාවෙ ඉඳන් කිව්වේ මට කරදර කරන්න එපා මට හිටිය ඇති මට යන්න දෙන්න . මට පාඩුවේ යන්න දෙන්න. දැන් ඇති මට ජීවත් වුණා කියලා. මට ඒක ඇහිලා තිබුණේ. ඒක මගේ හිතට හරියට වැදුනා.
මම යන බව මට හොඳටම තෙරුන වෙලාවේ මම සිහිපත් කළ එකම දෙයයි.
රාග ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා..
මෝහ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා..
ද්වේෂ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා..
මං ඕකම කිය කියා ගත කළා. දවස් එකහමාරක් විතර යද්දි ආයෙත් මගේ තත්ත්වය හොඳ වුනා.”