ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විසින්ජම් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී එරට වෙරළාරක්ෂක බලකාය විසින් මත්ද්‍රව්‍ය රැගෙන යන ශ්‍රී ලංකා බෝට්ටු තුනක් සහ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති මෙම බෝට්ටුවලින් කොකේන් කිලෝග්‍රෑම් දෙසියයක්, හෂිෂ් කිලෝග්‍රෑම් 60 ක් සහ උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගත් බව වෙරළාරක්ෂක බලකාය පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මත්කුඩුවල වෙළඳපල වටිනාකම වෙරළාරක්ෂක බලකාය විසින් හෙළිකර නැත.
වෙරළාරක්ෂක බලකාය විසින් බෝට්ටු වටකරන විට විශාල මත්කුඩු ප්‍රමාණයක් මුහුදට දමා ඇත.
බෝට්ටුවල 19 දෙනෙකු ගොස් ඇති අතර ඔවුන්ගෙන් හත්දෙනෙකු මුහුදට පැන ඇත.
ඔවුන් සොයා ගැනීම සඳහා දේශීය ධීවරයින්ගේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි.
මූලික වාර්තාවලට අනුව මෙම යාත්‍රා කර්නාටක සහ ගෝවා වෙරළ තීරයට ගොස් පසුව යාත්‍රා තුනම විසින්ජම් වෙත ගෙන එන ලදී.