ජයකාන්ත ලියනගේ – බළපිටිය –
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් පිරිසකට ආහාර රැගෙන ගිය භාජනයක තිබි උල් පිහියක් බන්ධනාගාර නිලධාරීන් විසින් අද (21) දහවල් සොයා ගෙන තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් ආහාර භාජන විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙන අතර එහිදී අගල් 07 ක් පමණ දිගින් යුත් මෙම උල් පිහිය සොයා ගෙන ඇත.
බූස්ස බන්ධනාගාරයේ පාතාල රැඳවියන් 27 දෙනෙකු සුවිශේෂී සිර කුටියක රඳවා තිබෙන අතර එම සිර කුටියට ආහාර රැගෙන ගිය භාජනයක තිබි මෙම උල් පිහිය සොයා ගෙන තිබේ. ඒ නිසාම මෙම සිද්ධිය පහසුවෙන් බැහැර කළ නොහැකි බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට ආහාර රැගෙන යෑමට පෙර ඒවා බූස්ස බන්ධනාගාරය තුළ ස්ථාපිත කර තිබෙන පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරින් විසින් පරීක්ෂා කරයි. ඔවුන්ගේ පරීක්ෂාවේදීද මෙම උල් පිහිය හමු වි නොමැත. ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.