බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර ඇතිවීමට හේතුවූ කිසියම් අයකුගේ නොසැළකිල්ල හෝ අපරීක්ෂාකාරී බවද යන්න පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා පොලීසියට උපදෙස් දී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ ඒ පරීක්ෂණයේ මූලික ප්‍රගති වාර්තාවක් සති දෙකක් ඇතුළත නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවය.
මේ පිළිබඳ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මෙලෙස කරුණු ඉදිරිපත් කළේය.
“බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවදානය යොමු වුණා. ඒ අනුව අද දින නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා විසින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. අදාළ උපදෙස් ද ලබාදීමක් සිදුකළා.
බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත තත්ත්වය පැතිරයාමට එම ආයතනය පාලකයින්ගේ නියෝජිතයින්ගේ සෘජු නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය හෝ රජයේ නිලධාරියෙකුගේ හෝ නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය කවර ආකාරයකින් දායක වී ඇත්තේ දැයි යන්න සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු බවට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබාදීමක් සිදුකළා.
එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 2වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ ලෙසට උපදෙස් ලබාදුන්නා. දණ්ඩනීති සංග්‍රහයේ වරදවල් හෝ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ වරදවල් අනාවරණය වන්නේද යන්න සොයා බලා වාර්තාකරන ලෙසටත් දැන්නුවා.
එසේම ඉහත කාරණා විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පළපුරුදු විමර්ශන කාණ්ඩායමක් තෝරා පත්කරගන්නා ලෙසටත් ගරු නීතිපතිතුමා උපදෙස් ලබාදුන්නා. ඒ සම්බන්ධයෙන් මූලික ප්‍රගති වාර්තාවක් නොවැම්බර් මස 13 වන දිනට පෙර ගරු නීතිපතිතුමාට ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට ගරු නීතිපතිතුමා විසින් අද දින ලිඛිත උපදෙස් දීමක් සිදුකළා.“