පොලිසිය කියන්නේ ගෞරවාන්විත සේවයක් බවත් ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් රාජකාරිය සඳහා ගොස් ප්‍රභූ නිවෙස්වල ගෘහ සේවයේ යෙදීම ඔවුන්ගේ වෘත්තියට උචිත නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසීය.
ඇමතිවරයා එසේ පැවසුවේ නව පොලිස් ස්ථාන හා පොලිස් පුරප්පාඩු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා, පොලිස්පති ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැති විශේෂ රැස්වීමක දී ය.
ජනගහනය, භූමි ප්‍රදේශය, ග්‍රාම සේවා වසම් යන කාරණා පදනම් කරගෙන කරන ලද පර්යේෂණයකට අනුව පොලිස් සේවය සඳහා මේ වන විට ඇති සේවා අවශ්‍යතාවය 116520 (ඒක් ලක්ෂ දහසය දහස් පන්සිය විස්සයි) ක් බවත්, දැනට පවත්වාගෙන යන පොලිස් සේවයේ ද 11369ක පුරප්පාඩු ප්‍රමාණයක් මේ වන විට පවතින බවත් මෙහිදී පොලිසිය පාර්ශවයෙන් ඉදිරිපත් විය.
වසරකට පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යන බවත්, පොලිසි නිලධාරීන්ගේ හිඟය මගහරවා ගැනීමට වසරකට නිලධාරීන් 2500ක් පමණ පුහුණු කළ හැකි බවත් පොලිසියේ උසස් නිලධාරීහු පැවසූහ.
අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය ප්‍රභූ ආරක්ෂකයන් පමණක් ඉතුරු කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අදාල දිස්ත්‍රික්වල ජීවත්වන නන්දිමිත්ර බලකායේ සෙබළුන් පොදු ස්ථාන සඳහා යොදවන බව ය.
එසේ ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම පිහිටි නන්දිමිත්ර බලකා කදවුර සහ වෙනත් කඳවුරු කිහිපයක් සඳහන් කරමින් පුහුණුවීම් ප්‍රමාණය වැඩිකර අවම වශයෙන් වසරකට 3500 ක ඉලක්කයවත් සම්පූර්ණ කර නව බඳවා ගැනීම් සිදු කළ යුතු බවය