මිනී මැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සහ ප්‍රභූ ඝාතන සැලසුම් සම්බන්ධව චෝදනා ලැබ සිටි රටේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වන මාකිලංගමුවේ සංජීව හෙවත් සංජීව සමරරත්න ඇතුළු අපරාධ චෝදනා ලද 11 දෙනෙක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් අද (12) නිදොස් කොට නිදහස් කළේය.
මහේස්ත්‍රාත්වරයා ඔහු ඇතුළු පිරිස නිදොස්කොට නිදහස් කරන්නේ පොලිසිය විසින් ප්‍රමාණවත් ආකාරයට ඔහුට එරෙහිව සාක්ෂි ගොනු නොකිරීම නිසාය.
මාකිලංගමුවේ සංජීව බන්ධනාගාරගත වී සිටියේ රාජ්‍ය බුද්ධි අංශය හා කොළඹ අපරාධ කොට්ඨාසය ඒකාබද්ධව කළ මෙහෙයුමක දී ලද තොරතුරු අනුවය.
වර්ෂ 2019 මාර්තුවලදී කළ මෙම මෙහෙයුමෙන් අනාවරණය වූයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හා දකුණේ පාතාල සාමජිකයන් අතර සිදුවූ ඒකාබද්ධ ආයුද ජාවාරමක් සහ ප්‍රභූ ඝාතනයක් ගැන තොරතුරුය.
යුද සමයේ වළදමා තිබූ ආයුද ගොඩ ගෙන දකුණේ පාතාල කල්ලි වෙත අලෙවි කිරීමේ මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ ඒ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි මාකිලංගමුවේ සංජීව බවත්, ඔහු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් ඝාතන සැලසුමකට ද සම්බන්ධ බවත් විමර්ශන වලදී හෙළි විය.
ඒ හෙළි වීමත් සමගම ඔහුව අවුරුද්දක රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේය. ඔහුව රඳවා තබා ගත්තේ වැල්ලවත්ත පොලිසියේ පොලිස් සිර මැදිරියකය.
ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ ඔස්මන් ඝාතනය සැලසුම් කරන්නේ මේ සිර මැදිරියේ සිටය. ඒ ඝාතනය මෙහෙයවූ ජංගම දුරකථන දෙක ඔස්මන් ගේ තොරතුරක් මත සොයා ගැනීමට පොලිසියට හැකි විය.