ඌරුබොක්ක – කුමාර
කුඹුරුපිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් එම නගර මධ්‍යයේදී අමානුෂික ලෙස පහරදීමෙන් තුවාල ලැබූ පාසල් සිසුවෙකු කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ පෙරවරුවේ කඹුරුපිටිය නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් තරුණයන් දෙදෙනෙකු ජංගම දුරකථනයක් සොරාගෙන ඇත.
එම සොරකම පිළිබඳ දුරකථන අලෙවිසැලේ හිමිකරු විසින් කඹුරුපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
එම පැමිණිල්ලට අනුව දුරකථන අලෙවිසැල අසල ලොතරැයි කුටියක ලොතරැයියක් මිලදී ගනිමින් සිටි බව කියන එම පාසල් ශිෂ්‍යයා සහ ඔහුගේ ඥාති සහෝදරයා වෙත පැමිණි පොලිස් නිලධාරීන් විසින් ජනතාව බලා සිටියදී පාසල් සිසුවාට පහර දී මාංචු දමා පොලිසියට රැගෙන ගොස් තිබිණි.
පහරදීමෙන් පසු ඔවුන් දෙදෙනා පොලිස් සිරකූඩුවට දමා පැයකට ආසන්න කාලයක් සිර කූඩුවේ රඳවා තබා තිබේ.
එහිදී ද තවදුරටත් මෙම පාසල් ශිෂ්‍යයාට පහර දෙන අවස්ථාවේ දී “බුදු සර් අපි හොරකම් කරේ නැහැ. මෙම දුරකථන අලෙවි සැලේ CCTV කැමරා තියෙනවා නේද.? ඒවා බලලා අපි දුරකථනය සොරකම් කරනවා දැක්කානම් අපිට මෙහෙම ගහන්න බුදු සර්” යැයි කියමින් මෙම පාසල් සිසුන් බැගෑපත්වී ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි නිලධාරීන් පිරිසක් එම දුරකථන අලෙවිසැලේ සහ අසල පරීක්ෂාවට ලක් කර ඇති අතර පෙනී ගොස් ඇත්තේ මෙම සොරකමට පාසල් දරුවන් දෙදෙනා සම්බන්ධ වී නැති බවයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් “උඹලා නොවෙයි. අපිට වැරදුනා සමාවෙයල්ලා” පවසමින් මෙම දරුවන් දෙදෙනා හිර කූඩුවෙන් එළියට දමා නිවසට යන ලෙස පවසා තිබේ.
මෙලෙස නිකරුණේ පොලිස් පහරකෑමට ලක්ව තිබූ එක් සිසුවකු නිවසට පැමිණීමෙන් පසුව මාපියන්ට පවසා ඇත්තේ කන නොඇසෙන බවත් අධික හිසරදය සහ කරකැවිල්ල ඇති වන බවත්ය. පොලිස් පහරදීමේදී එම සිසුවාට කනට පහරදුන් බවට ද සිසුවා පවසා ඇත.
අනතුරුව ඔහුගේ මාපියන් විසින් වහාම එම දරුවා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ රෝහල්ගත කරන ලද්දේ මෙවර උසස් පෙළ කලා අංශයෙන් පෙනී සිටීමට නියමිත කබුරුපිටිය රංචාගොඩ පදිංචි 18 උසස් පෙළ සිසුවායි.
ඔහු කඹුරුපිටිය රෝහලේ හතරවන වාට්ටුවේ ප්‍රථිකාර ලබයි.
එම දරුවාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සිදු වූ වරදට ඕනෑම අලාභයක් දෙන බවට විටින් විට පොලිස් නිලධාරීන් පැමිණ ඉල්ලා සිටින බවත් එම දරුවාගේ මව පවසයි.
මේ සිද්ධිය සමථයකට පත් කරගන්නා ලෙසට විවිධ දේශපාලනඥයන් කිහිපදෙනෙකුම බලපෑම් කරන බවත් මව හෙළිකළාය.
අත්අඩංගුවට ගත් අනෙක් සිසුවා ගිය වසරේ අපොස උසස් පෙළට පෙනී සිටි අතර මේ වසරේ ද විභාගයට පෙනී සිටීමට නියමිතයි.
මේ වනවිට පොලිසියේ අංශ ගණනාවකින් මේ පිළිබඳ විමර්ශන කටයුතු කරන බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.