මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයා ලබා දුන් තොරතුරු මත අද දින (27) අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් තිදෙනා සතුව තිබූ රුපියල් ලක්ෂ 138ක මුදලක් ඒ පිළිබඳව විමර්ශෂණය කරන පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද මත් කුඩු තොගයකින් කිලෝ ග්රැම් 100ක් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් වෙත විකිණූ බවට ලද තොරතුරක් මත එම කාර්යාංශයේ උදාර නැමැති උපපොලිස් පරීක්ෂකවරයකු පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුට මේ සඳහා සහය දුන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු පිළිබඳව අනාවරණය වී තිබේ.
ඒ අනුව ඔවුන් ද අද දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් මෙම මත්කුඩු ප්‍රවාහනය කළ බවත් ඒ වෙනුවෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් මුදල් ලැබුණු බවද හෙළි කොට තිබේ. ඒ අනුව එම නිලධාරීන් තිදෙනාට ලබා දුන් මුදල්වලින් රුපියල් ලක්ෂ 138ක් මුදල් සොයාගෙන තිබේ.
මෙම මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් කැබ් රථයකින් එක ස්ථානයකට ප්‍රවාහන කොට පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම්වලට යොදා ගනු ලබන පෞද්ගලික මෝටර් රථයකින් අදාළ ජාවාරම්කරුවන් අතට එය පත් කොට ඇති බවද අනාවරණය වී ඇත. එසේම මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කාර්යාංශ උපපොලිස් පරීක්ෂකවරයා පසුගිය කාලය තුළ වැඩිම කුඩු මෙහෙයුම් සිදු කළ නිලධාරියා වීමද විශේෂත්වයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට අනාවරණය කළේය.