ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 533ක්ගේ එනම් 53 කෝටි තිස් ලක්ෂයකගේ ගිණුම්වල ඇති දුරකථන තොරතුරු පරිගණක දත්ත සොරුන් විසින් සොරකම් කොට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබේ.
රටවල් 101ක පුද්ගලයන්ගේ තොරතුරු මේ අයුරින් ෆේස්බුක් සමාගමෙන් පිටවී ඇති අතර එයින් ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වයට සැලකිය යුතු විපතක් සිදුව ඇති බව විදේශ මාධ්‍ය අනාවරණය කරයි.
මේ පිළිබඳව තම වාර්තාව තබන බිස්නස් ඉන්සයිඩර් (Business Insider) වෙබ් අඩවිය අනාවරණය කළේ රටවල් ඇමෙරිකාවේ ෆේස්බුක් ගිණුම් හිමි තුන්කෝටි විසි ලක්ෂයක තොරතුරු මෙම පරිගණක හැකරුන් විසින් ඩැහැගනු ලැබ ඇති බවයි. එමෙන්ම බ්‍රිතාන්‍යයේ එක්කෝටි දස ලක්ෂයකගේත් ඉන්දියාවේ 60 ලක්ෂයකගේත් ජංගම දුරකථන අංක, සම්පූර්ණ නම, ජීවත් වෙන ස්ථාන, උපන් දින ඊ මේල් ලිපින ඇතුළු ජෛව දත්ත රැසක් ඔවුන් විසින් අත්පත් කරගනු ලැබ ඇත.
මෙම කරුණ බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවිය තම තොරතුරු තහවුරු කර ගැනීම් හරහා තහවුරු කරගෙන සිටින අතර සයිබර් අපරාධ පිළිබඳ ඇමෙරිකානු විශේෂඥයකු වන ඇලන් ගෝල් පවසන්නේ මෙම තොරතුරු සයිබර් අපරාධකරුවන් අතට පත්විම තුළ දැඩි අවදානමක් පවතින බවය. ඔවුන්ගේ සෙසු පරිගණක දත්තවලට ඇතුළු වීම, යම් යම් පුද්ගලයන් අපහාසයකට ලක් කිරීම ඇතුළු විවිධ සාපරාධී ක්‍රියා සඳහා මෙම තොරතුරු භාවිත කිරීමේ අවදානමක් පිළිබඳව ඔහු පවසයි. කෙසේ වුවද මේ පිළිබඳව ෆේස්බුක් සමාගම මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කොට නැත.