කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ
ජාත්‍යාන්තර අධිවේගී තැපෑලෙන් පැමිණි මත්පෙති 18 000කට අධික තොගයක් අත් අඩංගුවට ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව, රේගුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඒකාබද්ධ විමර්ශනයක දී හැකි වුණු බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ පැවසුවේය.
තැපැල් මෙහෙයුම් කටයුතුවල දී දේශීයව හා විදේශීව පැමිණෙන පාර්සල් පිළිබඳ දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ විමර්ශනය කරන බවත් විශේෂයෙන්ම විදේශයකින් පැමිණෙන පාර්සල් පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව රේගුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව සාමුහික විමර්ශනයක් කරන බවත් කී නියොජ්‍ය තැපැල්පතිවරයා යම් සැක සහිත පාර්සලයක් වේ නම් රඳවා තබාගෙන අයිතිකරු පැමිණි පසු විවෘත කර බදු අයකරග යුතු නම් එම බදු මුදල් අයකරගෙන මුදාහැරීම අනුගමනය කරන ක්‍රමවේදය බව පැහැදිලි කළේය.
මෙම පාර්සලය පැමිණ තිබුණේ පසුගිය වසරේ අගොස්තු මසය. එය ලැබිය යුත්තා ලෙස සටහන්ව තිබුණේ හැව්ලොක් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකුගේ ලිපිනයකි. පාර්සලය රඳවා තබාගෙන එය රැගෙන යෑමට පැමිණෙන ලෙස එම ලිපිනයට දැන් වූ නමුත් ලිපිනය ව්‍යාජ එකක් බව තහවුර වී තිබිණි.
ඉන් අනතුරුව රේගුව මත්ද්‍රව්‍ය කාර්යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පාර්සලය විවෘත කර තිබිණි. එහිදී කිලෝ 14ක් බර මේ පාර්සලයේ චොක්ලට් බිස්කට් වැනි සාමන්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අතර සඟවා තිබූ මත්පෙති තොගය සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි විය.
මෙම මත්පෙති තොගය තවම හඳුනාගෙන නැතැයි නියෝජ්‍ය තැපැල්පතිවරයා කීවේය.