දිනසේන රතුගමගේ
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ හා ජනතාව එකතු කිරීමට ගිය විග්නේස්වරන් මන්ත්‍රීවරයා 30 දා සිය පක්ෂයේ කීප දෙනෙකු සමග තනි වූහ.
අගෝස්තු මස 31 වෙනිදාට යෙදී තිබෙන අතුරුදහන් වුවන් පිළිබදව වූ ජාත්‍යන්තර දිනය සැමරීම සදහා පක්ෂ භේදයකින් තොරව හා දේශපාලනයෙන් තොරව යාපනයට එක් රැස් වන ලෙස තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබුණි.
අගෝස්තු 31 වෙනිදා රජයේ වැඩ කරණ දිනයක් බැවින් මෙම විරෝධතා වලට විශාල පිරිසක් සහභාගී කරවා ගැනීම සදහා අගෝස්තු 30 දා යාපනයේදී විරෝධතාවය පැවැත්වීමට තීරණය කොට තිබුණි.
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බව එම නිවේදනයේ සදහන් කළ විග්නේස්වරන් මන්ත්‍රීවරයා සියලුම දෙනා යාපනයට එක්ව විශාල විරෝධතාවයක් දක්වා එහි ඉල්ලීම ජාත්‍යන්තරයට හා විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යැවිය යුතු බවට දැණුම් දී තිබුණි.
නමුත් මේ ඉල්ලීමට වෙනත් කිසිම දෙමළ දේශපාලන පක්ෂයකින් හෝ සංවිධානයකින් විග්නේස්වරන් මන්ත්‍රීවරයාට සහයෝගයක් නොලැබීම නිසා ඔහුගේ තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයට පමණක් එම විරෝධතාවය පැවැත්වීමට සිදු වුණි.
යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් පිහිටුවා ගෙන තිබෙන සංගම් වල සහය විග්නේස්වරන් මන්ත්‍රීවරයා විසින් ඉල්ලා තිබුණද එම සංවිධාන කියා සිටියේ ඔවුන් විසින් ප්‍රාදේශීය මට්ටමින් විරෝධතා පවත්වන බවය.
ඒ අනුව ඔවුන් වවුනියාව මන්නාරම කිළිනොච්චිය යන පළාත් වල වෙනම විරෝධතා පැවැත්වූහ.
අතුරුදහන් වූවන්ගේ ඥාතී සංගමය විසින් ඔවුන්ගේ ඉල්ලීම් කළ අවස්ථා වලදී දෙමළ ජාතික සන්ධානය හා විග්නේස්වරන් මහතා ඊට කිසිදු සහයක් නොදැක්වීම නිසා යළි එම දේශපාලන පක්ෂ වලට සහය නොදක්වන බව පවසන එම සංවිධානය ඔවුන් විසින් සහය දැක්වීම සදහා මේ වන විට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂය තෝරා ගෙන සිටින බවද කියා සිටියහ.