“ආනන්දය ලබන්න“ යයි සටහනක් සහිතව ගංජා පිළිබඳ විදයාත්මක පරයේෂන සහිත ත්රෛයිලෝකවිජයා නම් ග්‍රන්ථය පාර්ලිමේන්තුවේ නිලදාරීන්ට හා මන්ත්‍රීවරුන්ට අනවසරයෙන් බෙදා දී ඇති බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් පවත්වන ලෙස මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ අද පාර්ලිමේන්තු සැසිය ආරම්භයටත් කලින් කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කිරීමට පෙර කතානායකවරයා මුලසුනේ අසුන්ගත් වහා සිය ඉල්ලීම ඉදිරිපත් කළ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා මෙසේ කීය.
“මම ඊයේ මේ සභාවේදී ගංජා ගැන කතා කළා. ඒ කතා කරලා පැය දෙකක් ගියේ නෑ පාර්ලිමේන්තුවේ නිළධාරීන්ට මෙවැනි පොතක් දී තිබෙනවා. ( ගංජා කොළයක ඡායාරූපයක් සහිත කවරයක් ඇති පොතක් පෙන්වමින්). මේක මන්ත්‍රීවරුන්ට දීලා නැහැ. මේ දවස්වල පාර්ලිමේන්තුවට ආගන්තුකයන්ට එන්න දෙන්නෙත් නැහැ. එවන් තත්ත්වයක් තුළ මේ පොත් ගෙනාවේ කවුද. මේ පොතේ තියෙන්නේ ‘ත්‍රෛලෝක විජය’ කියලා. වෙැනි පිටුවේ පිදුම වෙනුවට දාලා තියෙන්නේ ‘ ආනන්දය ලබන්න’ කියලා. මොකද්ද මේ කියන්නේ. ගංජා ගහන්න කියලනේ. මං මේ ගැන ඇහුවා බන්දුල ගුණවර්ධන සූරීන්ගෙන් සහ එස්.බී දිසානායකගෙන් ”.
කතානායකවරයා – ඒ ගැන සොයාබලා උත්තරයක් දෙන්නම්
ඇමැති බන්දුල ගුණවර්ධන –
මගේ නම සඳහන් කරලා එතුමා අදහසක් දෙන්න උත්සාහ කරන්න ඇති මේ පොත් බෙදා හැරීම කළේ අපි කියලා. මොකද අපි පොත පත ලියන නිසා. කිසිම පොතක් මම මේ පාර්ලිමේන්තුවට ගෙනැවිත් නැති බව දැනුම් දෙනවා.
බුද්ධික පතිරණ –
මේ පොත් ආවේ කොහොමද කියලා සීසීටීවී බලලා පරික්ෂණයක් කරන්න. ‘ ආනන්දය ලබන්න’ කියා මේ පොත බෙදලා නිළධාරීන්ට කියන්නේ ගංජා ගහන්න කියලද. ඊළඟ පියවර මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ටද.