නවීන පහසුකම් සහිතව ප්‍රතිනිර්මාණය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 1976 වසරේ ආරම්භ කළ කොල්ලුපිටිය වෙළඳපොළ, සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව තීරණය කර තිබේ.
කොල්ලුපිටිය වෙළඳපොළ, කඩකාමර 90 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් වන අතර එය ඒ.එච්.එම්. ෆවුසි මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ කාලයේ ඉදිකර තිබේ.
මෙම වෙළඳපොළ 1976 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැති නොබැඳි සමුළුවට පැමිණි ඇමරිකානු තානාපතිවරයා විසින් එවක අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය කළ ආරාධනාව මත විවෘත කරනු ලැබීය.
මෙම වෙළඳපොළේ ගනුදෙනු සඳහා විදෙස් සංචාරක පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමු වී තිබීම විශේෂත්වයකි. එසේ පැමිණෙන පාරිභෝගිකයන් අතර තානාපති කාර්යාලවල නිලධාරීන්, නිතීඥයින් ද සිටින බව වෙළඳසැල් හිමියෝ පවසති. විදේශීය පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනිම ද මෙම ව්‍යාපෘතියේ අරමුණකි.
ඊට අමතරව දේශීය පාරිභෝගිකයන්යින් වැඩිපුර ගෙන්වා ගැනීමට ද ක්‍රියා කළ යුතු බව එම වෙළඳසැල් හිමියෝ ප්‍රකාශ කරති
මීට දශක 04 කට පමණ පෙර සුපිරි වෙළඳසැල යනුවෙන් ද හැඳින්වූ කොල්ලුපිටිය වෙළඳපොළ එහි වෙළඳසැල් හිමියන්ගේ ද ඉල්ලීම මත වර්තමානයට සහ අනාගතයට ගැලපෙන ලෙස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර පසුගියදා ගිවිසුම් අත්සන් කෙරිණි.
අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය රෝසි සේනානායක සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
එම ගිවිසුමට අනුව, කොල්ලුපිටිය වෙළෙඳපොළ මහල් 40කින් සමන්විතව නව බහු මහල් වෙළඳ පරිශ්‍රයක් ලෙස ඉදිකිරීමට නියමිත ය. අක්කරයක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති කොල්ලුපිටිය වෙළඳපොළ ධර්මපාල මාවතට සහ ශාන්ත මයිකල් පාරට මැදිව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇත.
මහල් 40ක බහු මහල් මිශ්‍ර වෙළඳ පරිශ්‍රයක් ඉදිකිරීමට තීරණය කරන ලද්දේ පවතින වෙළඳපොළට වඩා වැඩි දියුණු වෙළඳපොළක් ඇති කර ගැනීමේ අරමුණින් කොල්ලුපිටිය නාගරික වෙළෙඳපොළ සංවර්ධනය කරන ලෙස වෙළඳසැල් හිමියන් කළ ඉල්ලීම ද සලකා බලමිනි.
ඉදිකිරීමට යෝජිත කොල්ලුපිටිය බහුමහල් වෙළඳ පරිශ්‍රය සියලු නවීන පහසුකම්වලින් සමන්විත වන අතර මහ ජනතාවට එදිනෙදා සියලු අවශ්‍යතා එමඟින් සපුරා ගැනීමට අවස්ථාව ද හිමිවෙයි.
එම වෙළඳ පරිශ්‍රය තුළ නිවාස පරිශ්‍ර, කාර්යාල පරිශ්‍ර, සාප්පු රථගාල්, උත්සව ශාලා, අවන්හල් සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් ලබා දීමට නියමිත වේ.
කොල්ලුපිටිය වෙළඳපොළ බහු මහල් මිශ්‍ර වෙළඳ පරිශ්‍රයක් දක්වා වැඩි දියුණු කිරීමට ගෙන තිබෙන තීරණය එහි වෙළඳසැල් හිමියන්ගේ දැඩි ප්‍රසාදයට හේතු වී තිබේ