ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් ඊයේ (11) රාත්‍රී කොවිඩ් 19 ආසාදිතයකු බවට හඳුනා ගැනීමෙන් පසුව ඔහු තම ටිව්ටර් ගිණුම හරහා ඉල්ලා සිටියේ පසුගිය දින 10 තුළ තමන් සමඟ ළඟින් ඇසුරු කළ සියලු දෙනාටම කොවිඩ් 19 පරීක්ෂාව කර ගන්නා ලෙසය.
ඔහුත් ඔහුගේ පුත් අභිශේක් බච්චනුත් කොවිඩ් 19 රෝගය වැළදී ඇති බව ඊයේ සිදු කළ පරීක්ෂාවන් අනාවරණය වූ අතර ඔවුන් ඊයේ රාත්‍රියේ මුම්බාහි විශේෂිත රෝහලට ඇතුළු කිරීමට පියවර ගැනිණ. ඔවුන් දෙදෙනාම සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අමිතාබ් බච්චන් ඊයේ රාත්‍රි 11ට පමණ පවසා තිබුණේ තම පවුලේ සියලුම සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා කොවිඩ් 19 පරීක්ෂවාට යොමු කළ බවයි.
මේ අතර ඔහුගේ ලේලිය වූ අභිශේක් ගේ බිරිය වන අයිශ්වර්යා රායි තම ටිවිටර් ගිණුම හරහා පවසා තිබුණේ තමා, දියණිය සහ අභිශේක් ගේ මව කොවිඩ් 19 පරීක්ෂණවලින් රෝගය ආසාදනය වී නොමැති බවට ඊයේ රාත්‍රියේම තහවුරු කර ගත් බවය.
ඇය තම ගිණුමෙන් පවසා ඇත්තේ රෝහල් ගත වී යලි නිවසට පියා සහ සැමියා එන තුරු ඉවසිල්ලක් නොමැති බවය.