දිනසේන රතුගමගේ
කිළිනොච්චිය දිස්ත්රික්කයේ අනවසර වැලි ජාවාරම්කරුවන්ට උපකාර කරන රජයේ සේවකයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරණ අතර අනවසර වැලි ජාවාරම නතර කර ගැනීම සඳහා පොලීසියට අමතරව යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ලබා ගන්නා බව කිළිනොච්චිය දිසාපති රූපවතී කේතීස්වරන් ඊයේ ( 19 ) පැවසුවාය.
කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ දී අදහස් දැක් වූ දිසාපතිවරිය කියා සිටියේ මේ වන විට කිළිනොච්චියේ කණ්ඩාවලෙයි වට්ටකච්චි සෙල්වානගර් යන පළාත්වල අනවසර වැලි ජාවාරම මහා පරිමාණයෙන් සිදු වීම නිසා රජයේ හා මහජනතාවට අයත් ඉඩම් විශාල ප්රමාණයක් වළවල් බවට පත්ව ඇති බවයි.
කිළිනොච්චියේ වැසියන්ට නිවාස තනා දීම සඳහා යැයි කියමින් බොහෝ රජයේ නිලධාරීන්ද වැලි කැපීමට හා ප්රවාහනය කිරීමට අවසර ලබා දී ඇති බව සඳහන් කළ දිසාපතිවරිය මින් ඉදිරියට වැලි ප්රවාහනය සඳහා බලපත්ර නිකුත් කිරීමේ කටයුතු පිළිබඳව තමන් පෞද්ගලිකවම සොයා බලන බවත් අනවසර වැලි ජාවාරම නතර කිරීම සඳහා මීට අමතරව තවත් විශේෂ වැඩ පිළිවෙළ කීපයක්ම දියත් කොට ඇති බවත් සඳහන් කළාය.