දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ ආනන්දපුරම් ගම්මානයට කඩා වැදී ගම්වාසීන් බිය වැද්දූ දිවියෙකු යුද හමුදා නිලධාරීන් හා වන ජීවී නිලධාරීන් මහත් පරිශ්රමයක් දරා 24 දා අල්ලාගෙන තිබේ.
මෙම දිවියා ගම්මානයට කඩා වැදී බල්ලන් හා එළුවන් කෑමට පටන් ගැනීම නිසා ගම්වාසීන් දින තුනක් පමණ දැඩි සේ බියට පත්ව සිටි අතර ඔවුන් ඒ පිළිබඳව යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව යුද හමුදාව වන ජීවී නිලධාරීන් දැනුවත්කොට ගම්මානයට පැමිණ ගසක් මත සිටි දිවියා සිහි මූර්ජා කර අල්ලා ගෙන තිබේ.
අල්ලාගත් දිවියා වන ජීවී නිලධාරීන් විසින් ඉතා ආරක්ෂිතව රැගෙන ගොස් කැළයකට මුදා හැර තිබේ.
කිළිනොච්චියේ ගම්මාන කීපයකම වැසියන්ට නිතර නිතර දිවියන්ගේ කරදරවලට ලක්වීමට සිදුවන අතර මීට මාස කීපයකට පෙර දිවියෙකු ආනන්දපුරම් බටහිර ගම්මානයට පැන එළුවන් හතරක් හා ගවපැටවුන් තුනක් කැළයට ඇදගෙන ගොස් තිබුණි.
මීට වර්ෂ තුනකට පමණ පෙර කිළිනොච්චියේ අම්බාල්පුරම් ගම්මානයට දිවියෙකු කඩා පැන මිනිසුන් තුන් දෙනෙකුව සපා කෑ අවස්ථාවේදී කුපිත වූ ගම් වැසියෝ දිවියා මරා දැමීම නිසා පුද්ගලයින් හත් දෙනෙකුකට එරෙහිව නඩුවක්ද ගොණු කොට තිබේ.