මාතර – සම්පත් –
මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන්ට ලැබුණු තොරතුරක් මත එළකිරි එකතු කරන ව්‍යාපාරිකයෙකු කසිප්පු විකිණීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු උදෑසන කාලයේ සිට ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ ගව ගාල වෙත ගොස් එළකිරි එකතු කරන අතර එම එළකිරි ටැංකියට සමාන්තරව එවැනිම තවත් ටැංකියක් ඔහුගේ යතුරු පැදියේ තබාගෙන එම ටැංකියේ කසිප්පු රැගෙන අලෙවි කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කසිප්පු පැකට් වශයෙන් ගෙන කිරි එකතු කිරීමේ ටැංකියක දමා මෙම ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් විසි හතර දහසක පමණ කසිප්පු පැකට් තිබී ඇත .
සැකකරු අම්බලන්තොට බඳගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාතර හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර තිබේ.