කීර්ති ප්රනාන්දු –
මහර අධිකරණ භූමිය තුළ සාමය කඩවන අන්දමින් කලහකාරීව හැසිරුණු බවට චෝදනා ලද නීතිඥවරයෙක් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්රධාන මහෙස්ත්රාත් අරුණි ආටිගල අද (20) නියෝග කළාය.
වාර්තාවන ආකාරයට නීතිඥයා කලහකාරී ලෙස හැසිරෙන සිද්ධිය මෙසේය.
මහර අධිකරණ ශාලාවේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවෙකුට මෙම නීතිඥවරයා ජංගම දුරකථනයක් ලබා දීමට උත්සාහ කර තිබේ.
ඒ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරියෙක් එම උත්සාහය වලක්වා ඇත. අනතුරුව මේ නීතිඥවරයා හා බන්ධනාගාර නිලධාරියා අතර උසාවියේ සිරමැදිරිය ඉදිරියේ දී වචන හුවමාරුවක් සිදු වී තිබේ. ඉන් අනතුරුව නීතිඥවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු භාර පොලිස් නිලධාරියා විසින් බී වාර්තාවක් මගින් මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
අද මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහර ප්රධාන මහේස්ත්රත් අරුණි ආටිගල විසින් නීතිඥවරයා ලබන 22 වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.