දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් මන්නාරම මුහුදු කලාපයට පැමිණ මසුන් මැරීමට විරෝධය පලකිරීම සඳහා මේ මස 9 වෙනිදා මන්නාරම පේසාලේ ප්‍රදේශයේ හර්තාලයක් දියත් කිරීමට මන්නාරම ධීවර සමීති සංගම් තීරණය කොට තිබේ.
මේ අනුව එදිනට පේසාලේ නගරයේ සියලුම වෙළද සැල් රජයේ කාර්යාල හා පාසල් වසා දමා තම සටනට සහය ලබා දෙන ලෙස ධීවර සමීති විසින් දැනුම් දී ඇත.
ඉන්දීය ධීවරයින්ට එරෙහිව පේසාලේ සිත්ති විනයාගර් කෝවිලේ පූජාවක් හා කිතුණු දේවස්ථනයක දේව මෙහෙයක් පවත්වා පවත්වා ඒ සියලු දෙනාම පෙරවරු 9 ට පේසාලේ හන්දියට එක්වීමට නියමිතය.
එතැන් සිට පා ගමනින් පේසාලේ නගරයට පැමිණෙන විරෝධතාකරුවෝ එතැන සිට ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධතාවයක් පවත්වා රජයට හා ඉන්දීය රජයට යැවීම සඳහා පෙත්සමක් අත්සන් කිරීමට නියමිතය.
මන්නාරමේ පේසාලේ ධීවර සමීති නියෝජිතයෝ පවසන්නේ කාලයක් ඉන්දීය ධීවරයින් මන්නාරම මුහුදු සීමාවට පැමිණීම නතර වී තිබුණද මේ දිනවල සතියේ සඳුදා බදාදා හා සෙනසුරාදා යන දිනවලට ඉන්දිය ටෝලර් යාත්‍රා 3000 ත් 4000 ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවයි.
ඉන්දීය ධීවරයින් මන්නාරමේ ධීවරයින්ට අයත් මත්ස්‍ය සම්පත සූරාකැමට අමතරව ධීවරයින්ට පහර දීම හා ධීවරයින්ගේ දැල් ආම්පන්න විනාශ කිරීම නිසා මන්නාරමේ ධීවරයින්ගේ ධීවර රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පේසාලේ ධීවර සමීති සදහන් කරයි.