නතාෂා නෙත්මිණි –
කොවිඩ් – 19 වයිරස් මර්දන එන්නත වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එන්නත් කිරීම මාර්තු මුල් සතියේ සිට ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරයි.
එන්නත්කරණ මධ්‍යස්ථාන 4000 ක් ඒ වන විට මෙරට ස්ථාපිත කරන බවත් දෛනිකව මධ්‍යස්ථාන 2000 කින් එන්නත් ලබාදීම සිදු කරන බවත් ඇමැතිවරිය ප්‍රකාශ කළාය.
කෝවැක්ස් ක්‍රමය යටතේ සහ මිලදී ගැනීම් සිදු කරමින් එන්නත් මෙරටට ලබා ගැනීම සිදු කරන්නේ යැයි ද, ජනගහනයෙන් ලක්ෂ 42කට කෝවැක්ස් ක්‍රමය යටතේ එන්නත ලබාදීමටත්, ඇණවුම් කර මිලදී ගැනීමෙන් ලක්ෂ 90 ක ජනගහණයකට එන්නත ලබාදීමටත් සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරිය කියා සිටියාය.
වයස අවුරුදු 30 සිට 60 දක්වා කාණ්ඩයට සහ වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටි ජනගහනයට කොවිඩ් එන්නත්කරණය හැකි ඉක්මණින් ආරම්භ කරන බවත් වයස අවුරදු 18 ට අඩු දරුවන්, ගැබිනි මවුවරුන්, කිරි දෙන මවුවරුන් යනාදීන්ට එන්නත් ලබාදීම සිදු නොකරනුයේ ඔවුන් සහ එන්නත සම්බන්ධයෙන් මෙතෙක් ලෝකයේ පර්යේෂණයක් සිදු කර නොමැති නිසා බවත් ඇමැතිවරිය පැවසුවාය.
එන්නත් මාත්‍රා ලක්ෂ 180 ක් මෙරටට මිලදී ගැනීම සඳහා මේ වනවිටත් ඇණවුම් කර ඇතැයි ද ඇමැතිවරිය ප්‍රකාශ කළාය.