ජයකාන්ත ලියනගේ – බළපිටිය –
අහුන්ගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් පාර්සලයක් ඊයේ (24) අහුන්ගල්ල පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
මෙම හෙරොයින් පාර්සලය, අද (25) බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හෙරොයින් පාර්සලය සම්බන්ධයෙන් අයිතිකරුවෙක් නොමැති බවත් අයිතිකරුවෙක් සොයා ගැනීම සඳහා මෙන්ම හෙරොයින් පාර්සලයට අදාල තොරතුරු සොයා ගැනීම සඳහා තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් අහුන්ගල්ල පොලීසිය පවසයි.
අහුන්ගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටි තරුණයින් දෙදෙනකුට මෙම පාර්සලය හමු වී තිබෙන බවත් ඔහුන්ගේ දැනුම් දීමට අනුව අහුන්ගල්ල පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී පාර්සලයේ ඇත්තේ හෙරොයින් බවට හඳුනාගත් බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පොලීසිය පැමිණෙන විට පාර්සලයේ උඩ කවරය ගලවා තිබූ බවත් යටින් ඇති කවර ඉතා සුරක්ෂිතව තිබූ බැවින් පාර්සලය ඇතුළට ජලය කාන්දු වී නොතිබූ බවත් අහුන්ගල්ල පොලීසිය කීවේය
කිලෝග්‍රෑම් 01 කට අධික බරින් යුත් මෙම හෙරොයින් පාර්සලය රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුක්ත බව අහුන්ගල්ල පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාසර ට ප්‍රකාශ කළේය.
පොලීසියට හමුවන විට හෙරොයින් පාර්සලයේ තිබූ හෙරොයින් ගල් ගැසී තිබූ බවත් ඒ නිසාම මෙම හෙරොයින් මීට මාස 03 කට පමණ පෙර පාර්සල් කරන්නට ඇතැයි සිතිය හැකි බවත් පොලීසිය කියයි. ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම් කරුවන් විසින් කරන ලද හෙරොයින් ජාවාරමේදී කුමන හෝ හේතුවක් නිසා මෙම පාර්සලය මුහුදට විසි කරන්නට ඇතැයි සිතිය හැකි බවත් එයින් පසුව මුහුදේ පාවී පැමිණ අහුන්ගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගසන්නට ඇතැයි, සිතිය හැකි බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් ජයතිලකගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෂින්ත පියරත්න මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.