අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් දැන්වීම් පළකර මුදල් වංචා කරන සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.
සංවිධානාත්මක කණ්ඩායම් විසින් පුද්ගලයන් රැවටීමට ලක් කර මුදල් වංචා කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බැවින් මෙවැනි අපරාධවලට හසුවීමෙන් වැළකෙන ලෙස ද පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දී සිටී.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත වාර්තාවී ඇති පැමිණිලි පහත පරිදි උදාහරණ ලෙස දක්වමින් පොලිස් මූලස්ථානය ජනතාව වෙත දැනුම් දෙයි.
- ෆේස්බුක් මිතුරු ඇරයුම් හරහා සම්බන්ධ වූ නාදුනන තැනැත්තන් විසින් එවනු ලබන විවාහ යෝජනාවලට රැවටී මුදල් වංචා කිරීම.
- ෆේස්බුක් වැනි මිතුරු ඇරයුම් හරහා සම්බන්ධ වූ නාදුනන තැනැත්තන් විසින් එවනු ලබන ත්‍යාග පාර්සල් ලබා ගැනීම, ඒවා නිෂ්කාශනය කිරීම, රේගුවෙන් භාණ්ඩ හා පාර්සල් නිදහස් කර ගැනීම සඳහා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම.
- තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට දන්වා සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් දැන්වීම් පළ කර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳව බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහජනයා දැනුවත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලා තිබේ.
- මෝටර් රථ දිනුම් ඇදීමක් ලැබී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කර වංචනික පිරිස් විසින් ලබා දෙනු ලබන විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවාගෙන වංචා සිදුකිරීම.
- ලොතරැයි දිනුම් ඇදීමක් ලැබී ඇති බවට විද්‍යුත් තැපැල් පණිවුඩ මගින් දැනුවත් කර වංචනික පිරිස් විසින් ලබා දෙනු ලබන විවිධ බැංකු ගිණුම වෙත මුදල් බැර කරවා වංචා සිදුකිරීම.