හිටපු අමාත්‍ය සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයකු ඇතුළු තරුණයන් සිව් දෙනකු අද අළුයම සිදු වූ පහර දීමේ සිද්ධියක් මත මහරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙපාර්ශ්වය අතර ආරවුල විසඳීමෙන් පසුව අද (14) දින නිදහස් කරගෙන තිබේ.
පොලිස් ආරංචි මාර්ගවලට අනුව සිද්ධිය මෙසේය.
ඇමති පුත්‍රයා ඇතුළු මිතුරන් පිරිසක් බොරලැස්ගමුව අවන්හළක විනෝද වෙමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ ඔහුගේ බිරිය සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ. පසුව මෙම යුවළ තම මෝටර් රථයෙන් එම ස්ථානයෙන් පිටවී ඇති අතර ඔවුන් ලුහුබැඳ පැමිණි වෙදආරච්චිගේ පුත්‍රයා ඇතුළු කණ්ඩායම ඔවුන්ගේ වාහනය හරස් කොට මෙම ව්‍යාපාරිකයාට මහ මගදී පහර දී ඇත.
එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් මේ සිදුවීම වළක්වා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව දිලිප් වෙදආරච්චි මන්ත්‍රිවරයාද මෙම ස්ථානයට පැමිණ ඇත. සිද්ධිය වැඩිදුර ගෙන නොයා සමථයකට පත් කිරීමට නම් මෙම ව්‍යාපාරිකයාගේ අත පැළඳී රුපියල් ලක්ෂ 15ක් වටිනා අත් ඔරලෝසුවට සිදුවූ හානිය ගෙවන ලෙස එම ව්‍යාපාරිකයා වෙදආරච්චි ඇතුළු පිරිසට කියා තිබේ.
ඔහු රුපියල් ලක්ෂ 12ක් හානි ලෙස ඉල්ලා ඇති අතර අවසානයේ දිලිප් වෙදආරච්චි රුපියල් ලක්ෂ 10ක් අත් ඔරලෝසුවට සිදුවූ හානිය ලෙස අදාළ පහර කෑමට ලක් වූ තරුණයාට ගෙවා මෙම සිදුවීම සමථයකට පත් කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාසර ට වාර්තා කළේය