සුනේත්‍රා ඇතුගල්පුර –
ඡායාරූප – ශෂී සුබ්‍රමනියම් –
අලංකාරය තවත් අලංකාරකින් අතික්‍රමණය වන්නාසේ ඇල්ප්ස් ගිම්හාන සමයට විවේකයක් ලබා දෙමින් ඇල්ප්ස් සැණකෙළිය ආරම්භ වන වකවානුවයි මේ ..
ඒ බව සනාථ කරමින් කටු සහිත රිදී පැහැති ඇල්ප්ස් කඳුකරයට විශේෂිත (Silber distelm) මල් වර්ගය ද පිපෙන්නට පටන් ගෙන තිබේ .
මෙම මල් වර්ගය පිපීමෙන් සංකේතවත් වන්නේ ඇල්ප්ස් ගිම්හාන සමයේ නිමාව බව ඇල්ප්ස් ගොවීන්ගේ විශ්වාසයයි .
අමුත්තන්ට රාක්ලට්
මාටින් හා රෙබෙකාට අද තරමක් අවිවේකී දිනයකි. එක් පසෙකින් ඔවුන් දුර්නක්තාල් කඳුවැටි වෙත පැමිණීමට නියමිත අමුත්තන්ට ආහාර සැකසීම සඳහා සූදානම් විය යුතුය. අනෙක් පසින් පැමිණෙන අමුත්තන් සඳහා අවශ්‍යය ඩෙස් බංකු සකස් කළ යුතුය. ඔවුන් මෙම කටයුත්තේ නිරත වන්නේ තනිවම නොවේ. ඊට තවත් කිරි ගොවීන් කිහිප දෙනෙකුගේ හා නෑ හිතවතුන් කිහිපදෙනෙකුගේ සහය ද ලැබේ. අද පැමිණෙන අමුත්තන්ගේ ප්‍රධාන ආහාර වේල වන්නේ රාක්ලට්ය.
ඒ සදහා කිලෝ ග්‍රෑම් සියයකට ආසන්න බරැති රාක්ලට් සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කළ චීස් ප්‍රමාණයක් වෙන් කර තිබිණි. රාක්ලට් කියූ සැනින් ස්විස් ජනයාගේ කටට කෙළ උනනු නොඅනුමානය. ඒ රාක්ලට් සිය සම්ප්‍රදායික ආහාර අතර ප්‍රධාන තැනක් ගන්නා නිසාය.
රාක්ලට් යනු උණුකර ආහාරයට ගන්නා චීස් වර්ගයකි. බොහෝ විට රාක්ලට් අනුභව කරන්නේ තම්බාගත් අර්තාපල් සමගය. ඇතැම්හු රාක්ලට් පාන් මත වක්කර කෑමට ද රුචියක් දක්වති. මෙම විශේෂිත කෑම වර්ගය සාම්ප්‍රදායිකව සීත සෘතුවේදී අනුභව කළත් අද වන විට වසරේ සෑම සෘතුවක දීම මිලදී ගැනීමට හා අනුභව කිරීමට හැකි ජනප්‍රිය ආහාරයක් වි හමාරය.
පවුලේ සැනකෙළිය
අද දිනයේ ඇති විශේෂත්වය රෙබෙකාගේ හා මාටින්ගෙ මුහුණුවල ඇති පිබිදීමෙන් පෙන්නුම් කෙරිණි. කොතරම් වැඩ රාජකාරි බහුල වුවත් පැමිණෙන සෑම අමුත්තෙකුටම ආචාර කිරීමට එම දෙපල අමතක නොකළෝය. පැමිණ සිටි අමුත්තන් අතර ග්ලාරුස් දකුණු පළාත් නගරාධිපතිවරයා හා සුප්‍රසිද්ධ හිටපු ගුවන් විදුලි නිවේදකයෙකු, රාජතාන්ත්‍රික නියෝජිතයකු හා ඔවුන්ගේ පවුලේ හිතවතුන් ද සිටිති. වෙනත් වසරවලට වඩා මෙම වසරේ දී සිමර්මාන් පවුලේ ඇල්ප්ස් සැණකෙළියට විශාල පිරිසක් සහභාගී වී සිටීම කාගේත් අවධානයට ලක් විය.
ඒ අතර සාම්ප්‍රදායික ස්විස් ඇඳුමින් සැරසී ඔබ මොබ දුවන කුඩා දරුවන්ගේ කෙළිලොල් හඬ ඊට එක් කළේ තවත් අලංකාරයකි. අන්යා හා මර්වින්ටද අද අවිවේකී දිනයෙකි. ඒ වෙනදාට වඩා වැඩි මිතුරන් ප්‍රමාණයක් පැමිණ සිටීම හේතුවෙනි. එහෙත් විටින් විට සිය දෙමාපියන්ට උදව් උපකාර කිරීමට ඔවුහු අමතක නොකළහ. සාම්ප්‍රදායික ස්විස් සංගීතය ද මෙවැනි උත්සවයක අනිවාර්ය අංගයක් වුවා පමණක් නොව එම සංගීතය ඇල්ප්ස් සැණකෙළිය තවත් විචිත්‍රවත් කළේය .
සැප්තැම්බර් මාසය සැලකෙන්නේ ඇල්ප්ස් ගොවීන් ඇල්ප්ස් කඳු මත පිහිටි ගොවිපොළ අතහැර පහලට පැමිණෙන මාසය ලෙසයි. ඇල්ප්ස් ගොවියන් එය සිදු කරන්නේ උත්සවත්ශ්‍රීයෙනි.
ගවයින්ට දෙවියන්ට මෙන් සැලකීම හින්දු හා ආසියානු සංස්කෘතියේ ලක්ෂණයකි. එහි යුරෝපීය පිටපත අපි ස්විට්සර්ලන්තයෙදි දුටුවෙමු . ඇතැම් විට එය ආසියාවටත් වඩා අලංකාර බව දුටු සැනින් කාටත් හැඟී යනු ඇත .
ඇල්ප්ස් අප්සූග්ය
ස්විට්සර්ලන්තයේ සාම්ප්‍රදායික උත්සව හයසිය ගණනකට වඩා තිබෙන බව කිව හොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය. ඒ සෑම උත්සවයක්ම ස්විස් වැසියන් ගම්මාන වශයෙන් , පළාත් වශයෙන් හෝ ජාතික වශයෙන් සමරන බව කී විට ඔබ තවත් පුදුමයට පත්වනු ඇත . මේ සාම්ප්‍රදායික උත්සවවල අලංකාරවත්ම එක කුමක්දැයි කෙනෙක් මාගෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර වන්නේ “ඇල්ප්ස් අප්සූග්ය” (Alp abzug ).
මෙම උත්සවය එක්තරා ආකාරයකට කෘතගුණ සැලකීමේ අවස්ථාවක් ලෙස ද හැඳින්විය හැකිය. ඇල්ප්ස් අප්සූග් හී කස කරුවන් වන්නේ අන්කිසිවෙකු නොව ඇල්ප්ස් කඳු මතදී තමන්ගේ ජීවනෝපාය සඳහා උරදුන් එලදෙනුන් හා ගවයින් ය.
ඇල්ප්ස් අප්සුග් ලෙස හැඳින්වෙන්නේ මෙතෙක් මාස කිහිපයක් ඇල් කඳු මත කිරි එලදෙනුන් හා ගවයින් එළුවන් සමග ජීවත් වූ කිරි ගොවීන් ඇල්ප්ස් කඳු පාමුලට පැමිණෙන උත්සවයයි . කිරි ගොවීන් ගවයින් සහ එළුවන් සමග මෙලෙස පැමිණෙන්නේ පෙරහැරක් පරිද්දෙනි . “අප්සූග්” යන්නෙහි අර්ථය වන්නේ පෙරහැරය. ඇල්ප්ස් අප්සුග් යනු තවත් ආකාරයකින් කිවහොත් ඉතා මනස්කාන්ත හැඟීමක් එක්කරන හා කෘතගුණ දැක්වීමේ සංකේතයක් ලෙස හැඳින්විය හැකිය.
මාස තුනකට ආසන්න කාලයක් කඳු මත සිට එලදෙනුන් හා ගවයින් පහළට පැමිණෙන ආකාරයෙන් ඒ බව මනාව තහවුරු වේ. සෑම ගවයකුගේ ම හිස මත අලංකාරවත්ව සැකසූ මල් කළඹක් පළඳවා තිබීම මෙම සාම්ප්‍රදායික උත්සවයෙ ප්‍රධානතම විශේෂත්වයකි. ඇතැම් කිරි ගොවීන් මෙලෙස පහළට පැමිණෙන්නේ සාම්ප්‍රදායික ජන ගී ගයමිනි. ඔවුන් පැළඳ සිටින්නේ ස්විස්ටර්ලන්තයෙ සාම්ප්‍රදායික ඇඳුම්ය. බොහෝ විට ඇල්ප්ස් පෙරහැර සමග කිරි ගොවීන්ගේ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන් කිරීම සිදු කෙරේ.
වර්තමානයේ මෙම සාම්ප්‍රදායික උත්සවය සංචාරකයින් ඇදගැනීමේ සංස්කෘතික අංගයක් බවටද පත්ව තිබේ. මාස තුනකට ආසන්න කාලයක් ඇල්ප්ස් කඳු මත ජීවත් වී පහලට උත්සවත්ශ්‍රීයෙන් පැමිණෙන ඇල්ප්ස් ගොවීන්ට හා ගවයින්ට ගෞරව දැක්වීම සඳහා ඒ ඒ පළාත්වල ජනතාව මග දෙපස රැස්ව සිටීමද මෙම සම්ප්රදායේම තවත් අංගයකි .
මීළඟට ඇල්ප්ස් ගවයින්ගේ මෝස්තර නිරූපණ ශිල්පියා පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න .
පසුගිය කොටස….