සදෙව් රත්නායක –
පළමු තරග 2දීම සියුම් පරාජයන් දෙකක් විඳදරා ගත් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඊයේ (30) රාත්‍රි එල්.පී.එල්. තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරමින් ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු අවාසනාවන්ත ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම ඇද දැමුවේය.
කාසියේ වාසිය පරාජයට පත්වූවත් ගෝල් ග්ලැඩියේටර්ස් නායක අෆ්රිඩිගේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඕවර 20දී රැස් කිරීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් පමණි. සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර 13ක් සමග ලකුණු 82ක් රැස් කළත් එම වටිනා ඉනිම අපතේ ගියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තුන්වැනි පරාජය උරුම කර දෙමිනි.
එල්.පී.එල්. තරගාවලියේ හොඳම ආරම්භක පිතිකරු යුගලය වන කැන්ඩි කණ්ඩායමේ නායක කුසල් ජනිත්ට සහ ඇෆ්ගනිස්තාන පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස්ට ඊයේ දිනයේදී වැඩි දායකත්වයක් ලබා දීමට නොහැකි විය. මුලදී සාර්ථක පිතිහරඹයක ලක්ෂණ පෙන්නුම් කළත් මුළු ලකුණු සංඛ්‍යාව 22දී ගුර්බාස් දැවී ගියේය. නමුත් කුසල් සහ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කිරීම නිසා 10 වැනි ඕවරය වනවිට ලකුණු ලැබීමේ වේගය ඉහළ මට්ටමකම පවත්වාගැනීමට කැන්ඩි කණ්ඩායමට හැකිවිය.
පන්දු 24කට මුහුණ දුන් කැන්ඩි කණ්ඩායමේ නායකයා හතරේ පහර 4ක් සමග ලකුණු 27ක් ලැබුවත් ඊයේ ඔහුගෙන් සුපුරුදු පිතිහරඹ දස්කම් පෙන්නුම් නොවීය. මුළු ලකුණු සංඛ්‍යාව 97දී කුසල් ජනිත් දැවීයාමෙන් පසුව ඉනිම ගොඩ ගත්තේ පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර්ය. ප්‍රමාදවී ශ්‍රී ලංකාවට පැමිණි නිසා නිරෝධානය කාලසීමාව ගත කිරීමෙන් පසු සිය පළමු තරගයට ඊයේ ක්‍රීඩා කළ මේ පිතිකරුවා පන්දු 35කදී නොදැවී ලකුණු 51ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගිනි. ටේලර් පිටියට පැමිණ වැඩි වේලාවක් ගත වීමට පෙර කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 30කදී ලකුණු 49ක් රැස් කිරීමෙන් පසුවය. වෙනදාට වඩා ආක්‍රමණශීලි පිතිහරඹයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය.
බ්‍රෙන්ඩන් ටේලර්ට යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස්ගෙන් ලැබුණේ අගනා සහයකි. ජාත්‍යන්තර අත්දැකිම් බහුල සිම්බාබ්වේ පිතිකරුවාට වැඩි අවස්ථාවක් ලබා දුන්නත්, මේ යොවුන් පිතිකරුවා වේගවත් ක්‍රිඩා රටාවක නිරතවෙමින් පන්දු 16කදී ලකුණු 28ක් ලැබුවේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගිනි. එමෙන්ම ඔහු ටේලර් සමග එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 65ක සම්බන්ධතාවක් ගොඩ නැගීම නිසා සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කැන්ඩි කණ්ඩායම සමත් විය.
ලකුණු 197ක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5ම අනපේක්ෂිත අයුරින් ලකුණු 85ක් ඇතුළත බිඳ වැටුණු අතර විශාලතම බලාපොරොත්තු වූ නායක අෆ්රිඩි පළමු පන්දුවෙන්ම දවාලීමට සීකුගේ ප්‍රසන්න සමත්විය. ඔහු දැවී ගියේ කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදීමෙනි. ඉන් අනතුරුව නැවත හිස ඔසවා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අවස්ථාවක් නොලැබිණි.
හුදෙකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක 6 වැනි කඩුල්ලට ශෙහාන් ජයසූරිය සමග එක්ව ලකුණු 53ක් එක් කළත් එය ඵලදායි නොවීය. ජයසූරිය ලකුණු 17ක් රැස් කිරීමට පන්දු 23ක්ම වැය කළ අතර ඔහුගේ දැවීයාමෙන් පසු ලකුණු ලබාගැනිමේ වේගය ඉහළ දැමීමට උත්සාහ කළ ධනුෂ්ක ගුණතිලක දුවද්දී දැවී යාමට හසුවීමත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පරාජය ඉක්මන් විය. අගපෙළ පිතිකරුවන් වන මොහොමඩ් ශිරාස් සහ මොහොමඩ් අමීර් එක්ව අවසන් ඕවර කිහිපයේදී ජයග්‍රහණය හඹා ගියත් එල්.පී.එල්. තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පන්දු යවන්නන් 7 දෙනකුම භාවිත කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් ජනිත් එය වැළැක්වීමට සියළු කටයුතු මනාව සම්පාදනය කළේ නායකත්වයේ ශූර උපක්‍රම රැසක් භාවිතයට ගනිමිනි.
ඊයේ පළමු තරගයේ තරුව බවට පත්වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා නිසා මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට සමත්ව සිටින ජැෆ්නා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින අතර ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කලම්බු කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා දෙවැනි තැනට පත්වී සිටී. ඊයේ ජයග්‍රහණයත් සමග කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබා තුන්වැනි තැනත්, දසුන් ශානකගේ දඹුල්ල වයිකින් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබා සිවුවැනි තැනත් අත්කරගෙන සිටී.