ප්‍රභලම ක්‍රීඩකයින් පස්දෙනෙකු රහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ජොහැන්නස්බර්ග් හිදී අද (03) දෙවන සහ අවසන් ටෙස්ට් තරගයට මුහුණ දෙන්නේය.
තරගය අද ලංකාවේ වේලාවෙන් 1.30ට ආරම්භ වන්නේය.
දෙරට අතර පැවති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ කණ්ඩායමේ කොඳු නාරටිය වූ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිත රහිතවය.
අබාධයකට ලක්ව සිටින සුරංග ලක්මාල් ඊයේ (02) පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී සිටී. එහෙත් ඔහු අවසන් මොහොතේ හෝ කණ්ඩායමට සම්බන්ධ කරගැනීමේ අපේක්ෂාවක් දිමුත් කරුණාරත්න වෙත ඇත.
අද තරගයේදී කඩුලූ රකින ක්‍රීඩක මිනෝද් භානුකට සහ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුට ටෙස්ට් වරම් හිමිවනුු ඇතැයි දිමුත් කරුණාරත්න කීවේය.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව හමුවේ සෝචනීය පරාජයක් උරුම කර ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෝකයාට හඬගා කීවේ සැලැස්මක් නැති ක්‍රීඩාවක ප්‍රතිවිපාකයේ තරමය. ක්‍රීඩා විචාරකයන් මේ පරාජය දකින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුග්ධ ස්වරූපයේ ප්රකාශනයක් ලෙසය.
කොවිඩ් වංගතය හේතුවෙන් දිනෙන් දින කල් යමින් තිබූ එල්.පී.එල් තරගාවලිය පැවැත්වූයේ දකුණු අප්‍රිකානු සංචාරය මුව විටෙහි තබාගෙනය. එහි දුර්විපාක ටෙස්ට් කණ්ඩායමට අත් විඳින්නට සිදුවූයේය.
එල්පීඑල් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් විශේෂ පුහුණු කඳවුරක් පල්ලෙකැලේ දී පැවැත්විනි. මෙම කඳවුර සඳහා ක්‍රීඩකයින් තෝරා ගත්තේ විධිමත් තේරීම් කමිටුවකින් නොවේ. මේ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන්නේ විනිවිද භාවයකින් තොරව තෝරාගෙන තේරීම් කමිටු හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුව ලබාගත් එම කණ්ඩායමය.
දින පහක් ක්‍රීඩා කිරීමේ රිද්මය මේ ක්‍රීඩකයන්ගෙන් ගිලිහී තිබුණු ආකාරය තරගය මුල සිටම පෙනුණි. දින 21 තිස්සේ 20 විස්ස තරග මාලාවකට සහභාගී වෙමින් සිට බඩුමුට්ටු පොදි බැඳගෙන විදේශ රටක ටෙස්ට් ක්‍රීඩා කරන්නට පැමිනෙණ ක්‍රීඩකයන් විශ්වකර්මයන් සේ හැසිරෙනු ඇතැයි අප බලාපොරොත්තු විය යුතු නැත. සිදු වී ඇත්තේ සිදුවීමට ඇති ප්‍රායෝගිකම යථාර්ථය ය.
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් කියන්නේ අපේ ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් පිතිකරණ පුහුණු අවස්ථාවක් නොලැබීම පරාජයට හේතුව බවය. එහෙත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020ට එක් නොවූ හා ඉන් ඉවත්වන ක්‍රීඩකයින්ට පුහුණු කඳවුරක් පැවැත්වීම වෙනුවට ජාතික පුහුණුකරු මිකී ආතර් කළේ ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියට විස්තර විචාරකයෙක් ලෙස සම්බන්ධ වීමය. පුහුණුකාරකම අත්හැර ආතර් තෝරාගත් විස්තර විචාරක වෘත්තියේ පටුත්වය ලෝකයට පෙනුණේ ජාතික කණ්ඩායමක් ජාත්‍යාන්තරයේ දී අත් කරගත් විලිලජ්ජා නැති පරාජයකිනි.
වාර්තාවන පරිදි කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු නිසි දැනුමක් හා හැකියාවක් නැති අයෙකි. ශ්‍රී ලංකා කණ්ඩායම ජංගම රෝහලක් බවට පත් වීමෙන් ඒ බව සනාථ කළේය.
සැලසුමක් නැති තරග සංවිධානය මෙන්ම පුහුණුකරුවන්ගේ වගකීම් රහිත ගොංකම්වල ප්‍රතිඵළ විඳින්නට සිදුවී ඇත්තේ ක්‍රීඩකයන්ටය. අවසානයේ රටක් ලෙස අප හැමෝටමය.
එක් දෙයක් අවසානයේ දී කිව යුතුව ඇත. මේ වනවිට කණ්ඩායමට ක්රීඩකයක්න් 11 දෙනෙක් තෝරාගත නොහැකිව දෙකොණ පූට්ටු වී සිටින අයට කණ්ඩායම තෝරද්දී අමතක වූ දෙයක් තිබේ.
මල්ඩර්ගේ පන්දු වලට මුහුණදෙන්නට නොහැකිව අපේ පිතිකරුවන් ඇඹරෙද්දි මේ මල්ඩර්ම දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට එලව එලවා පහර දී ලකුණු168ක් රැස් කලේ පැතුම් නිස්සංකය.
පැතුම් එළියේය. පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ටයින් සංචිතයෙන් එළියේය. දිමුත් ගේ හා ආතර්ගේ කණ්ඩායම අපට ලබා දෙන ආශ්වාදය අමාරුවෙන් විඳගෙන අවසාන වශයෙන් එක් ඉල්ලීමක් කළ යුතුව ඇත.
අවුරුද්ද පටන්ගත් ගමන් ලබා දුන් මේ සැප අවුරුද්ද පුරාවට නම් ලබා නොදෙන්න…