තමන්ට ලැබිය යුතු මුදල පිළිබඳව සැකයක් පැන නැගෙමින් ඇති බැවින් එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත සුපිරි තරු කිහිප දෙනෙකු මේ වන විටත් තරගාවලියට සහභාගි වීම සහ නොවීම සම්බන්ධව දෙගිඩියාවකින් පසුවන බව වාර්තා වේ.
දේශී්ය ක්රීඩයකන් මෙන්ම විදේශීය ක්රීඩකයන් කිහිප දෙනෙක් සිදුවන්නේ කුමක් දැයි විමසිල්ලෙන් බලා සිටින බව පැවසේ. කොන්ත්රාත්තුව මත හිමිවිය යුතු මුදල් මේ වන විටත් නොලැබී ඇති බව ඔවුහු කියති. අදාළ තරගාවලියේ පූර්ණ අයිතිය ඩුබායි හී අයි.පී.ජී. ආයතනය සතුව පවතින අතර එම මුදල් ගෙවීමද ඔවුන් හෝ කණ්ඩායම් හිමිකරුවන් විසින් සිදුකළ යුතුව තිබේ.
“මුදල් ගෙවීම් සිදු කළ යුත්තේ කණ්ඩායම් හිමිකරුවන් විසින්. ඔවුන් මුදල් ගෙවීම් කරන්න එකඟ වී තියෙනවා.” යනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ප්රධානියකු මේ සම්බන්ධව කළ විමසීමකදී පැවසීය. කෙසේ වෙතත් අදාළ ක්රීඩකයන්ට ගෙවිය යුතු මුළු මුදලින් 60% ක් පළමු තරගය සහභාගි වීමට පෙර ගෙවිය යුතුව ඇත. එසේ නොවුණහොත් සුපිරි තරු කිහිප දෙනෙකු තරගාවලියට සහභාගි වීම වැට උඩ තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ඇ.ඩො. 60000 සිට ඇ.ඩො. 10000 දක්වා ක්රීඩකයන්ට ගෙවීම් කිරීමට ගිවිසුම් ගතව තිබේ. ඇතැම් විදෙස් ක්රීඩකයන්ට ඇ.ඩො. 100000 දක්වා ගෙවන බවද කණ්ඩායම් හිමිකරුවන් පවසා තිබේ. ගැටලුව වී ඇත්තේ අදාල කොන්ත්රාත් මුදලින් සියයට හැටක ප්රමාණය කිසිම ක්රීඩකයෙකුට නොලැබීමය.
“මට නම් තවම මුදල් ලැබුණෙ නැහැ. අපි තරගාවලියට සහභාගි වෙන්න අපේක්ෂාවෙන් ඉන්නෙ. දැන් හම්බන්තොට නිරෝධානයට ලක්වෙලා ඉන්නවා.” යනුවෙන් ක්රීඩකයන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසීමකදී අනාවරණය විය. මේ වන විට පල්ලකැලේ පුහුණුවීම්වල නිරත ක්රීඩකයන් කිහිප දෙනකුම හෙට හෝ අනිද්දා අදාළ කණ්ඩායම් සමග එක්වීමට හම්බන්තොටට පැමිණීමට නියමිතය.
ගුවන් ප්රවේශපත් ඇතුළු කොන්ත්රාත්තුවට අදාළ මුලික ගෙවීම් ලැබී ඇති විදෙස් තරු කිහිපයක් මේ වන විටත් ශ්රී ලංකාවට පැමිණ තිබේ. නමුත් තවත් ක්රීඩකයන් කිහිප දෙනකු ලැබෙන කොන්ත්රාත් මුදල සම්බන්ධව සෑහීමකට පත් නොවී ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් ලබන 26 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් වන අතර ඒ සඳහා ක්රීඩා කරන කණ්ඩායම් පහේ ක්රීඩකයන් බොහෝ දෙනකු මේ වන විටත් හම්බන්තොට හෝටල්වල දින හතක නිරෝධානයකට යටත්ව සිටියි.
කණ්ඩායම් පහට පුහුණුකිරීම සඳහා පැති තණතීරු 25 ක් සහ ඒ සඳහා විදුලි ආලෝකයද, ක්රීඩක විවේකාගාර හතරක්ද මේ වන විටත් සකස් කරමින් පවතියි. එක්දිනකට තරග දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ක්රීඩකයන් දහ දෙනකු තරගාවලියේ එක් එක් කණ්ඩායම් සඳහා සූදානම් කර ඇත.
මෙම තරගාවලියේ සංවිධානය කිරීම, කණ්ඩායම් විකිණීම, විකාශන අයිතිය විකිණීම ආදී සියලු කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදු කරයි. ඔවුන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට පළමු වසර දෙක සඳහා වාර්ෂිකව ඇ.ඩො. 1,920.000 ක්ද අනතුරුව සෑම වසරකදීම අදාළ මුදල 10% කින් වැඩි කරන ලෙස අයි.පී.ජී. ආයතනය සමග ශ්රී ලංකා ක්රිකට් වසර පහකට ගිවිසුම් ගතව තිබේ.